මට මතක් වෙන්නෙ ඔහුට එරෙහි බරපතළ චෝදනා නෙවෙයි, ‘සඳ කුමර කුමරියන් ගැවසෙන වෙරළ දිහාවෙ…!’ සහ ‘මාගේ කිරිල්ලී….!’ වගෙ ඔහු ගැයූ ගීත දෙක තුන.
ඒවා මහා අමුතු නිර්මාණ නෙවෙයි. ඒත් පොලිස් කාරයෙක් ගී ගයනවා, එක්කො ගී ගයන පොලිස් කාරයෙක්! කියල වෙනම විඳීමකුත්, ඒ ගීත එක්ක පුද්ගලිකවම මට තිබුණා. අනුරගෙ හඬත් නරකම නැහැ, වෙනස් පිරිමි හඬක්. ප්රේමණීය ගතියකුත් ඒ තුළ තිබුණා. අපරාදෙ!
අනුර සේනානායකගෙ මුල් පොලිස් ජීවිතය ගැන නං මං විස්තර දන්නෙ නැහැ, ඒත් එදා රාජපක්ෂ පාලනය තුළ ඔහු වැඩ කෙරුවෙ නිල බලය සහ දේශපාලන බලය සමග වියරුවෙන් වගෙ. රාජපක්ෂවරු ඔහු පාවිච්චි කෙරුවා කියල කෙනෙක් කිව්වොත් ඒ කතාවෙත් වැරැද්දක් නැහැ. එතකොට අර ගී ගයන මිනිහාට මොකද වුණේ? සඳ කිඳුරු කිඳුරියන් සමඟ වෙරළක ගී ගයන ප්රේමවන්තයා මෙහෙම දුෂ්ටයෙක් වෙන්නෙ කොහොමද?
මං කල්පනා කරන්න පටන් ගන්නවා!
ඒත් එක්කම මට ශානි අබේසේකර මතක් වෙනවා. මං ශ්රී ලංකා යුද හමුදා වෛද්ය බලකායෙ සොල්දාදුවෙක් විදිහට ම ආරම්භ කරන, ‘සමාජ යුක්තිය සඳහා වූ අරගලය!’ සමාජ ගත වෙන්නෙ ‘රාවය’ ත් එක්ක, 1999 – 2000 අතර. එතකොට, මට විවිධ වෙනස් පුද්ගලයන් මුණ ගැහෙන්න ගත්තා. දේශපාලන නියෝජිතයන්, නිලධාරීන්, වෘත්තිකයන්, කලා කරුවන්, ජනමාධ්ය කරුවන්, සමාජ ක්රියාකාරිකයන්…! සෑහෙන ප්රමාණයක්. ඔව්! රාවය එදවස මාර වැඩ බිමක් තමයි.
ශානි අබේසේකර එතකොටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ. මං අපරාධවලට – අපරාධකාරයන්ට එරෙහිව ගවේශනාත්මක මාධ්ය භාවිතයක් අත් හදා බලමින් ඉන්න අතර තුර ශානිවත් වරක් දෙවරක් මුණ ගැහිල තියෙනවා. මං තේරුම් ගත්තෙ ඔහු අවංක, රටට ආදරය කරන සහ බය නැති නිලධාරියෙක් විදිහට.
මං ඒ කාලයෙ පදිංචි වෙලා හිටියෙ නාරාහේන්පිට මැනිං ටවුමෙ හමුදා නිවාසයක, ශානි පදිංචි වෙලා හිටියෙ අපේ නිවාස සංකීර්ණයට හැරෙන මාතා මාවතට යාබද තට්ටු නිවාසයක උඩ තට්ටුවක. මං වතාවක් ඒ ගෙදර ගිහිං තියෙනවා. ඔහුට ආදරණීය දරු පවුලක් තිබුණා. ඉතාම අහිංසක ගමේ විදිහෙ බිරිඳක් සහ දරුවො දෙන්නෙක් හිටියා. ඔවුන් ඉතාම සංග්රහශීලී – ප්රියමනාප අය. අපේ සම්බන්ධතාව පවුල් ගනු දෙනුවක් නෙවෙයි, වෘත්තීය මට්ටමේ සම්බන්ධතාවක්.
අපරාධ කීපයක් හෙළිදරව් කරන්න අපේ සහ සම්බන්ධතාව දෙපාර්ශ්වයටම ශක්තියක් වුණා මට මතකයි. හොඳම උදාහරණය, රේගු නිලධාරී සුජිත් පෙරේරා ඝාතන සිද්ධිය හෙළිදරව් කර ගන්න අපි කරපු මෙහෙයුම.
මේ සිද්ධීන් එකින් එක මගෙ ඔළුවට එන්නෙ, මේ යහපත් මිනිසා, අන්තිමට මෙච්චර සිල්ලර දේශපාලන ගොදුරක් වුණේ කොහොමද කියල තේරුම් ගන්න තවම උත්සහ කරන නිසා. ශානි මේ ප්රාථමික මට්ටමට වැටුණෙ කොහොමද? ඔහු ඒ හරහා ලබා ගත්තෙ මොනවද? යතුරු පැදියකින් එහා මෙහා යමින් රාජකාරිය වෙනුවෙන් උපරිම කැපවීම් කරපු ඒ ශානි, මං හිතින් මවා ගත් ශානි කෙනෙක්ද? ඔහුගෙ ආදරණීය දරු පවුලට මොකද වුණේ? එක්කො මගේ කියවීම වැරදිද? අනේ මන්දා!
අනුර – ශානි දෙන්නෙක්!
ඒත් මොකක් හරි සමානකමක් තියෙනවා, ඒ ඔවුන්ට එල්ලවන බරපතළ චෝදනා පැත්තෙන් නෙවෙයි, මනුස්සකම පැත්තෙන්…! අනේ මන්දා!
අහ්! එතකොට අර වාස් ගුණවර්ධන?!
‘පිල්ලෙයාන්ගෙ මිනිස්සු ඒ මලක් වගෙ දැරියට කරපු අපරාධයට අනුව උන් තව එක මොහොතක්වත් ජීවතුන් අතර ඉන්න බෑ! තිරිසන්නු!’ වාස්, වර්ෂා දැරිය දූෂණය කර මරා දැමූ සිද්ධියට අදාළ විමර්ශන මතක් කරමින් කිව්වා මට හොඳට මතකයි. ඒ අපරාධය ඉතා කෙටි කලකින් අනාවරණය කර ගන්න වාස් සමත් වුණා සහ ඒ අපරාධකාරයො විමර්ශන අවසානයේදි මරා දැමුණා.
‘ඔබේ ගමනාන්තය ගැන මට හිතා ගන්න බෑ!’ වාස් මුණ ගැහුණු වෙලාවක මං ඔහුට අවවාදයක් විදිහටම කිව්වා මතකයි…!
‘මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න සමාජ වටපිටාවක් හදන එක මගේ වගකීමක්!’ ඔහු කියාගෙන ගියා.
‘ඒත් ඔය ක්රමයෙන් නෙවෙයි!
මං ඔහුට අවධාරණය කෙරුවා.
‘වාස් යනු කුමක්ද?’
මට නිශ්චිත අදහසක් නැහැ! අනුර – ශානි ගැනත් එහෙමමයි, ඔවුන් අනිවාර්යයෙන්ම අවසානයේදි අපරාධකරුවන්! ඒත් ඒ ඒ සිදුවීම් ගොඩ නැගෙන දේශපාලන සන්දර්භය, අපට මග හැරෙනවා නේද? මං මගෙන් ප්රශ්න කරනවා.
ම්ම්ම්ම….!
අනුර – ශානි – වාස් තුන් දෙනෙක්!
ඒත් මොකක් හරි සමානකමක් තියෙනවා, ඒ ඔවුන්ට එල්ලවන බරපතළ චෝදනා පැත්තෙන් නෙවෙයි, තවම කියවා ගන්න බැරි ‘ජීවිතය’ පැත්තෙන්…!
අනේ මන්දා! අපරාදෙ!
CHAPA
Feb 27, 2021