අනේ අපේ රට…

2015 ජනවාරි 8, ශ්‍රී ලංකා දේශපාලනය, ඊනියා ජාත්‍යන්තරයේ ”Regime Change ව්‍යාපෘතියක්” යටතේ වෙනස් කෙරුණා. චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී හදිසි කල්ලිය, NGOs නඩය, දෙමළ සහ මුස්ලිම් කණ්ඩායම් ඍජුව ද, ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායම් කීපයක් වක්‍රව ද මැදිහත් වුණා.
රාජපක්ෂ පාලනය පෙරළා දාන්න බලපෑ ප්‍රධාන හේතු දෙකකි;
1. එකී ඊනියා ජාත්‍යන්තරයේ බළල් අණ්ඩක් බවට පත්වූ දෙමළ ත්‍රස්තවාදය, මිලිටරිමය වශයෙන් පරාජය කළ රාජ්‍ය හමුදා බලය.
2. කලාපීය සාංකාවක් මතු කරමින් ඉන්දියාව ට සාපේක්ෂව චීනය සමඟ වඩා ඍජු – වඩා සමීප සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට උත්සහ කිරීම.
රාජපක්ෂ පාලනය, මේ ”දේශපාලන මොහොත” නිවැරදිව කියවා ගන්නට අපොහොසත් වුණා. මාර්ග සංවර්ධනය ප්‍රමුඛ යම් ආකාරයක සංවර්ධන ව්‍යපෘති රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබුණත්, ඒ ඒ සංවර්ධන ඉලක්ක සහ  අදාළ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න ඒ යට මෝදුවෙමින් තිබුණා. චීනය ඇතළු තවත් තැන්වලින් ඉවක් බවක් නැතුව ලබාගෙන තිබුණු ණය සහ ඒවාට අදාළ ණය කොන්දේසි තවත් පැත්තක.
ගෝඨාභය යටතේ ක්‍රියාත්මක වුණු, ආරක්ෂක අමාත්‍යාශය කේන්ද්‍රියව කළමනාකරණය කෙරුණු නගර අලංකරණය ප්‍රධාන සංවර්ධන කටයුතු සැලකිය යුතු ඉහළ මට්ටමක තිබුණත්, නීතියේ අවභාවිතය තුළ, දුෂණ, වංචා සහ අක්‍රමිකාතා වලින් පිරුණු ( ඊට පෙර සහ ඊට පසු, අද මෙන්ම ) ඒ පාලන සමය, ඉබේම අර කුමන්ත්‍රණයට ගොදුරු වුණා.
ඒ වනවිටත්, එනම් 1948 න් පටන් ගෙන 1977 දි කූටප්‍රාප්තිය ට පත් වුණු ධනේශ්වරයේ පශ්චාත් නුතන අවධියට අදාළ දේශපාලන විෂය නිර්දේශය රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබුණා සහ මේ දැනුත් දිගටම ක්‍රියාත්මකයි. JR, ප්‍රේමදාස, DB, චන්ද්‍රිකා, මහින්ද, රනිල් – මෛත්‍රී, එදා මෙදා තුර ඒ වෙනුවෙන් විධිමත්ව සහ නොවිධිමත්ව පෙනී හිටිනවා. දකුණේ, වමේ සහ රැඩිකල් වමේ ලෙස හඳුණා ගැනෙන සියළු දේශපාලන පක්ෂත් ඍජුව හෝ වක්‍රව ඒ ක්‍රියාවලියෙම කොටස් බවට පත් වෙනවා.
71, 88 – 89 ජවිපෙ කැරළි ( ? ), LTTE ත්‍රස්තවාදය සහ තවත් බරපතළ ප්‍රතිවිරෝධතා ඉස්මතු වෙන්නෙ, ඔන්න ඔය සන්දර්භය ඇතුළෙ.
මේ අනුව, 2017 අප්‍රේල් 12 උදේ වරුවෙ දි , ලාංකේය දේශපාලනයෙ ”මේ මොහොත” තේරුම් ගන්න පුළුවන්, එසේ නම් සිද්ධ වෙන්නට නියමිත කුමක් ද?
1. රටේ කෘෂි ආර්ථික පදනම සහ ඊටත් සම්බන්ධ දේශීය ආර්ථික ශක්තිය තව දුරටත් බිඳ හෙලීම සහ නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය සේවාව ප්‍රධාන සුභසාධන රාජ්‍ය ක්‍රමය අහෝසි කිරීම, එමගින් ශ්‍රී ලාංකිකයන්, වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය තුළ අසරණ ණය කරුවන් සහ ගැහැනු – පිරිමි ශරීර පමණක් විකිණිය හැකි නූගත් වහළුන් බවට පත් කිරීම. එමගින්, එකී වෙළෙඳපොළට අවශ්‍ය මෙරට සම්පත් කොල්ල කෑම සහ රට තුළ තම වෙළෙඳපොළ පුළුල් කර ගැනීම. ඒ සඳහා, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ආර්ථික ඝාතන ඒජන්සීස් මගින් ලබා දෙන උපදෙස් ක්‍රියාවට නැංවීම.
2. කළාපීය සංහිඳියාවක් ඇතිකිරීම සඳහා, ඉන්දියාවට සහ චීනයට සම බලයක් ලැබෙන පරිදි ලාංකේය භුමිය සහ තවත් අවස්ථා පවරා දීම.
3.  එකී ඉලක්කය සඳහා, හරස්ව පවතින, ”ථේරවාදී බුදු දහමට න්‍යායිකව පදනම්වන ඓතිහාසික මූලයන්ගෙන් පැන නගින  ලාංකේය රාජ්‍ය” අහෝසි කොට, බෙදුණු දුර්වල රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම. ඒ සඳහා, දෙමළ – මුස්ලිම් බෙදුම්වාදය සහ සිංහල බෞද්ධ අන්තවාදය යොදා ගැනීම.
මේ වනවිට, මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සුක්ෂමව සහ වේගයෙන් දියත් වෙමින් තියෙනවා. ඒ අතර ඉක්මනටම 2020 කිටුවෙනවා.
ඊළඟට සිද්ධවෙන්නෙ, ඒ වෙනකොට නවත්වන්න සිද්ධවෙන තැනින් පටන් ගන්න කාට හරි අවස්ථාවක් ලැබෙන එක, ලබා දෙන එක.
ඉතිං, අපට කළ හැක්කේ කුමක්ද?
කොටින්ම, 1977, 1994, 2005, 2010, 2015 සහ ඊළඟට 2020…
එතකොට?
CHAPA