අපෝ! දැන් නං ඇති වගෙ…

”ඔයා ඉතිං කියන්නෙ නැහැනෙ කරන්න ඕන දේ!”
මිත්‍රයෙක් දුරකථනයෙන් කියන්න ගන්නවා. කතාව ටිකක් දිගයි.
”මම දිගටම කියන්නෙ පවතින තත්වය…සිද්ධ වෙමින් තියෙන දේ…කරන්න ඕන දේ නේන්නං…”
”එහෙම නෙවෙයි…දැන් මැතිවරණයක් එනවා…මිනිස්සු මොකද්ද කරන්න ඕනෙ?”
”මොන මැතිවරණයක් තිබ්බත් වැඩක් නැහැ! බලයෙ හිටපු…බලයෙ ඉන්න සහ බලයට එන්න ඉන්න හැමෝම එක වගෙ…”
මම නැවත කතාව කියනවා.
”එහෙම කියල බැහැ…අපි කියන්න ඕනෙ මිනිස්සු ඡන්දය දාන්න ඕන කාටද කියල…”
ඔහු ජනමාධ්‍යයටත් සම්බන්ධ නිසා යම් පමණකට තීරණාත්මක චරිතයක්.
”ඕක තමයි ප්‍රශ්නය…ඔයා සහ පොදුවේ මිනිස්සු හිතනවා ආණ්ඩුවෙ ඉත්තො මාරු කරලා රට බේර ගන්න පුළුවන් කියලා…ඔහොම හිතන එකෙන් වෙන්නෙ රටේ විනාශය වේගවත් වෙන එක…”
මම කියාගෙන යනවා.
”එහෙම කියල බැහැ…”
ඒ ඔහු!
” ප්‍රජාතන්ත්‍රවාදයට අරුතක් ගන්න පුළුවන්, ජනයා ඊට සක්‍රීයව සහභාගී වෙනවා නං විතරයි…ඒ කියන්නෙ ඡන්දය දාන එක විතරක් නෙවෙයි…ආණ්ඩු කරන්න මැදිහත් වෙන්න ඕන කියන එක…විශේෂයෙන්ම වෘත්තිකයො තමන්ගෙ වෘත්තීය සීමාවන් තුළ විධිමත්ව සහ කාර්යක්ෂම විදිහට වැඩ කරන්න ඕනෙ…ඔවුන් වැඩ කරන්න ඕනෙ රට වෙනුවෙන්…සමාජ යහපත වෙනුවෙන්, මේ කතාව ඔයා වගෙ පැහිච්ච අයට කියල වැඩක් නැහැ…මම ඒකයි පාසල් ළමයින්ට කතා කරන්න උත්සහ කරන්නෙ…”
මගෙ හඬ දැන් නිකං පුපුරු ගහනවා වගෙ, මට ම දැනෙනවා.
”ඕවා ඉතිං හුදකලා සටන් නෙ…හුඟාක් අය කියන්නෙ චාපා විවේචනය කරනවා විතරයි, කරන්න ඕන දේ කියන්නෙ නැහැ කියල, එහෙම නෙවෙයි… මිනිස්සු මොකද්ද කරන්න ඕනෙ…?”
ඔහු නැවත අහනවා.
”මම මෙහෙම කියන්නද? ඔයා ජන මාධ්‍යයට සම්බන්ධ කෙනෙක්නෙ…ධනවාදය තුළ ව්‍යාපාරික අරමුණු තියාගෙන වුණත් BBC, CNN…වගෙ ආයතන තමන්ගෙ රට වෙනුවෙන් සහ රටේ ජයග්‍රහණ වෙනුවෙන් වැඩ කරන හැටි බලන්න…අඩුම තරමෙ අපේ ජනමාධ්‍ය එහෙම හිතන්න පුළුවන් කියලවත් දන්නවද? අපිත් මේ අර්බුදයෙ කොටස් බවට පත්වෙලා…ඔයාට තේරෙන්නෙ නැද්ද?”
”මට තේරෙනවා…මම මෝඩයෙක් නෙවෙයි! එත් අපි මොකද්ද කරන්න ඕන කියල හරියටම මිනිස්සුන්ට කියන්න ඕනෙ…ඔයාගෙ තියෙන්නෙ විවේචන විතරයි…දැන් එන්නෙ ඡන්ද කාලයක්…”
”මොකාට ඡන්දය දැම්මත් මොකා දිනුවත් එකයි…”
මගේ හඬ ට මම ම දැන් කැමති නැති වේගන එනවා, එත් කතා කරනවා.
”මෙහෙම හිතන්න…ඇයි නඩු කල් යන්නෙ? විනිසුරුවරු, නීතීඥවරු, නීතීඥවරුන්ගේ සංගමය, නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක, පොලිස්පති, පොලිසිය…තවත් අදාළ කණ්ඩායම් එකට හිතන්න ගත්තොත් නඩු වේගයෙන් අහල සමාජ යුක්තිය ඉටු කරන්න පුළුවන්…සරලව, විනිසුරුවරු උදෙන්ම වැඩ පටන් ගත්තොත් ලොකු වෙනසක් ඇති වෙනවා…”
”ඔය ඔක්කොම හරි…ඒ වුණාට…ඔයා ජනතාවට කියන්න ඕනෙ හරියටම කරන්න ඕන දේ…”
ඔහු නැවත කියනවා, මම ඉවසන්න ඕනෙ.
”දැන් බලන්න ජනමාධ්‍යයට පැවරෙන වගකීම! මේ පිළිබඳ දියුණු සංවාදයක් ඇති කරන්න ඕනෙ, ඒ ඒ තත්වයන් ප්‍රශ්න කරන්න ඕනෙ, ආණ්ඩුව, පක්ෂ ක්‍රියාකාරිත්වය, වෘත්තීය හැසිරීම්…මේ සියල්ල ප්‍රශ්න කරන්න ඕනෙ…වැහුණු තැන් නිරාවරණය කරන්න ඕනෙ, කරුණු විශ්ලේෂණය කරන්න ඕනෙ…ජනතා මැදිහත්වීම් පොළඹවන්න ඕනෙ…”
මම දිගට හරහට කියන්න පටන් අරගෙන.
”ඒ වුණාට…ඔයත් දන්නවා මාත් දන්නවා මීඩියා කියන්නෙ බිස්නස් එකක්…”
ඔහු කියන කතාව ඇත්ත!
”ඒත් බිස්නස් ඇතුළෙ ප්‍රමිතීන් පවත්වාගෙන යන්න ඕනෙ…ඕනෑම දෙයක් විකුණන එක බිස්නස් කියන්න බැහැ…ඒවා ජාවාරම්! ධනවාදය තුළ වුණත් අපේ රට, යහතින් පවතින තැනකට උස්සන්න ඕනෙ, ඒක අනිත් හුඟාක් රටවල් කරනවා…කරන්න උත්සහ කරනවා, අපේ ජනමාධ්‍යයත් උත්සහ කරන්න ඕනෙ”
”ආණ්ඩු විරෝධී වෙලා…ආණ්ඩුවට ගහල ජනමාධ්‍යයට පවතින්න බැහැ…”
”ඔය කියන්නෙ! කරන්න ඕන දේ දන්නවා, ඒත් ඒක කරන්න බැහැ! ඒකනෙ ඔයා කියන්නෙ…ඒකත් වැරදියි! ගහන කතාවක් නෙවෙයි, යටි අරමුණු නැතුව, හරි දේ කරන්න උත්සහ කරනකොට ඊට සමාජ ශක්තියක් ඉබේම හට ගන්නවා…පිළිගැනීමක් ලැබෙනවා…හොඳම උදාහරණය මම, බලන්න මම හැමෝම විවේචනය කරනවා, මාව ප්‍රත්ක්ෂේප වෙනවා නං වෙන්නෙ මොකක් හරි අරමුණකට කෙනෙක් හෝ යම් කණ්ඩායමක් මොකක් හරි කෙරුවොත් විතරයි…පොදු තත්වය මගේ මැදිහත්වීම පිළිගන්නවා, උදාහරණයක් විදිහට මම ආණ්ඩුව සහ එහි වැරදි දැඩි ලෙස විවේචනය කරමින් පාසල් වලට යනවා…මාව එහෙම ගෙන්වන්න අවසර ගන්න කාටවත් ප්‍රශ්නයක් ඇවිල්ලත් නැහැ…”
”ඒ වුණාට…”
”ඒ වුණාට නෙවෙයි…ප්‍රජාතන්ත්‍රවාදය සහ මේ වෙළෙඳපොළ වැඩ කරන විදිහ අධ්‍යනය කරමින් වඩා සාධාරණ සහ සමාජ යුක්තිය ලැබෙන දිශාවකට මිනිස්සු පෙළ ගස්සවන්න ඕනෙ, සමාජය බල ගන්වන්න ඕනෙ..”
”ඒක වෙන කතාවක්…ඒත් අපි කියන්න ඕන මිනිස්සුන්ට…
අපෝ! දැන් නං ඇති වගෙ!
CHAPA