ඊයෙ මහ රෑ යාළුවෙක් එක්ක මං පාර අයිනෙ! ගමනක් ගිහිං එන ගමන්. වාහන ප්‍රශ්නයක් නිසා ඉක්මනට යා ගන්න විකල්ප ක්‍රමයක් ඕන. ඒ අස්සෙ පොද වැස්සක්!
”ඉන්න! මං ටක් ගාලා ටැක්සියක් හරි වීල් එකෙක් හරි ගෙන්නන්නං..” යාළුවා ෆෝන් ස්ක්‍රීනය එහා මෙහා කරන ගමන් කිව්වා.
කිව්වත් වගෙ විනාඩි කීපයක් ඇතුළත ත්‍රී රෝද රථයක් අපි ඉස්සරහ. දැන් මං එනවා. පාර නිදහස් නිසා ගමනත් ඉක්මන්, සියල්ල හොඳින්.
‘හරි!”
සන්සුන් වැදගත් ඉරියව්වකින් ත්‍රී රෝද රථය පදවාගෙන ආපු කඩවසම් තරුණයා පාර අයිනට වෙන්න ත්‍රී රෝද රථය නවත්වමින් හෙමින් කිව්වා.
”ඒ කියන්නෙ?”
”මෙතනට තමයි ලොකේෂන් දාලා තියෙන්නෙ…”
”අහ්! ඒ වුණාට මං තව ඉස්සරහට යන්න ඕන…අපි යං!”
මට හිනා, මං නෙ, මං යන්න ඕන ලොකේෂන් එක දන්නෙ.
”ලොකෙෂන් එක පෙන්නන්නෙ මෙතනනෙ…මේ!”
ඔහු තමා ඉදිරියෙන් රඳවා තිබෙන සමාට් ජංගම දුර කථන ස්ක්‍රීනයට එබීගෙන ඔළුවෙ ඉරියව් වෙනස් කරමින්, මටත් පෙන්නනවා. මේ ඇප් එකේ විදිහට තමයි ඉතිං අපි යන්නෙ! කියමින් ඔහු දැන් මං බහින කල් බලං ඉන්නවා.
”මේ…! ගාන 164/- යි….”
ඔහු ආයෙත් ඒ ජංගම දුර කථන ස්ක්‍රීනයට එබුණා.
”ඉතුරු දුරටත් මං ගෙවන්නං…අපි යං…”
”එහෙම බෑ! මං එහෙම ගියොත් ඒ ටිකට මට සල්ලි ගන්න බෑ! මේකෙ පෙන්නන ගාන තමයි…එතකොට මට පාඩුයි…ඒකයි!”
තරුණයා මගෙ මුණට අවංක බැල්මක් දාන ගමන් අහිංසක විදිහට කිව්වා.
”ඒක මාර වැඩක්නෙ…කෙනෙක් කොහොමද මේ විදිහට හදිසි ගමනක් යන්නෙ? අනෙක යන ගමන්…යන පැත්ත වෙනස් කරන්න ඕන වුණොත්? ඔයාල ඔය වැඩ කරන ඌබර් ද මොකද්ද කම්පැණියට කියන්නෙ නැද්ද….ඔය වගෙ ඇප් එකකින් දෙගොල්ලොම අපහසුතාවට පත් වෙනවා කියල?”
මං තවම බැස්සෙ නැහැ.
”ඒ වුණාට ඉතිං ඔය දුර ගියොත් මට මහත්තයාගෙන් සල්ලි නං ගන්න බෑ, එතකොට මට පාඩුයිනෙ…ඒකයි!”
දැන් ඒ හඬ ටිකක් සැර වේගන වගෙත් එනවා. කෝකටත් මං බහිනවා! තව පොඩි දුරනෙ. විනාඩි පහෙන් යන්න පුළුවං!
මං ඔන්න ඒකෙන් බැස්සා.
”මේ ඉතුරු සල්ලි!” තරුණයා, මගෙ අතේ රුපියල් 6/- ක් තිබ්බා. 5/- කුයි රුපියලකුයි. මොකද මං දුන්නෙ 100/- ක්, 50/- ක්, 20/- ක්.
ගනු දෙනුව නං තිතට කෙරුණා.
අවංක ගනු දෙනුවක්!
පොද වැස්ස යට පය ඉක්මන් කරන ගමන් මං හිතුවා!
CHAPA, Aug 29, 2019