අවසන් ප්‍රථිපල කෝ මැකො?

2018-02-20
2018 පෙබරවාරි 10 වැනි දින පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේ අවසන් ප්‍රථිපල නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව අසමත්ව තිබේ. එහි සභාපති මහින්ද දේශප්‍රිය කර තිබෙන ඇතැම් ප්‍රකාශ වලට අනුව පෙනී යන්නේ එසේ අවසන් ප්‍රථිපල නිකුත් කිරීමට අවශ්‍ය නොමැති බව සහ ඒ සඳහා සුදානමක් ද නොමැති බවය. අනෙක් අතට විවිධ ජනමාධ්‍ය විසින් සකස් කෙරුණු වාර්තා හැරෙන්නට අදළ අංශය විසින් මෙතෙක් නිල වාර්තා කිසිවක් ප්‍රකාශයට පත් කර නොමැති බව ද නියමිත අන්තර්ජාල අවකාශ පරීක්ෂා කිරීමේදී පෙනී යයි. මැතිවරණ කොමිෂන් සභාව ට සහ ඒ යටතේ පවතින නිල යාන්ත්‍රණය ට, එකී ක්‍රියාන්විතය වෘත්තීය මට්ටමින් සිදු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී තිබියදීත් මෙවැනි පසුගාමී තත්ත්වයක් හටගෙන තිබීම සුළුකොට තැකිය නොහැක.

අනෙක් අතට පළාත් පාලන මැතිවරණයක වුවද අවසන් ප්‍රථිපල සහ ඒවායේ විශ්ලේෂණාත්මක විවරණයක් දැක්වීමට අදාළ සභාපතිවරයා සහ ඔහු මෙහෙය වන බලධාරීන්ගේ යුතුකම සහ වගකීම වන්නේය. එය එසේ නොමැති බවට අදාළ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ නම් ඔහුගේ නිල භුමිකාව්ම අභියෝගයට ලක් වේ.

මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ කිසියම් පාර්ශවයක දේශපාලන උවමනාවක් නිසා ද යන්න ගැටළු සහගතය. අදාළ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ඒ ඒ මොහොතේ අස්වාභාවික ලෙස පමා වීම ද මෙහිදී සැලකිල්ලට ගැනීමට සිදුවේ. ආසන්න ඉතිහාසයේ විවිධ ආණ්ඩු යටතේ ද මෙම ආයතනය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් ක්‍රියා කළ අවස්ථා දැකගත හැකි වූ අතර SB දිසානායක අමාත්‍යවරයා තමන් ”ජන්ද මැෂිමක්” ලෙස හඳුන්වා දිම ”කම්පියුටර් ජිල්මාට්” යනුවෙන් ජන්ද අක්‍රමිකතා සිදු වූ බවට වාර්තා වීම මේ අතර කැපී පෙනේ.