”අශෝක නෙවෙයි…මං අසෝක!” 1990 දශකයේ එක් කඩිසර උදෑසනක, නිදහස් චතුරශ්රයට යාබද ලක්හඬ ගුවන් විදුලියෙ පිටු පස කොටසෙදි ඔහු හෙමින් කිව්වා මතකයි. ඒ හඬ නං මාරයි! ගැඹුරුයි, ආදරණියයි!
අසෝක තිලකරත්න!
ජේෂ්ඨ සන්නිවේදකයා ඉතිං යන්න හදන්නෙ, එහෙම යන්න දෙන්න බෑ – ඔහුගෙ හඬත් ”ශ්රී ලාංකේය ජාතියේ” කොටසක්, අපි එක්ව පවතිනවා මිසක් මොන යෑමක්ද?! අනෙක ජීවිතය නොනවතින සංවාදයක්!
ශ්රී ලංකා යුද හමුදා වෛද්ය බලකාය තුළ ගෙවුණු ඒ අතීතයෙ දවසක පළාලි යුද හමුදා කඳවුරු භූමියේ පවත්වාගෙන ගිය ”යාපා පටුන සේවය” හරහා මුල්ම ගුවන් විදුලි අත් දැකීම ලබන අතරෙ එහි පැමිණි තිස්ස ජයවර්ධන සහ චන්දන තිලකරත්න, ගුවන් විදුලි ශිල්පීන් මට මුණ ගැහුණා.
එය අනපේක්ෂිත වෙනස් සොඳුරු අත් දැකීමක්!
ඔවුන්ගෙ සබඳතා හරහා කොළඹ ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ විශ්ව ශ්රවණී විකාශයෙ ඉතා කෙටි අත්දැකීමක් ලබන මට පසුව ”ලක්හඬ” ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නත් අවස්ථාවක් ලැබුණා. සොල්දාදුවෙක්ව හිඳිමින්ම ලැබූ ඒ අත්දැකීම් පෙළ ඉතාම සංකීර්ණයි. එහෙම ගත්තොත්, අසෝක තිලකරත්න මට අභිමුඛ වෙන්නෙ පරිණත සොඳුරු සන්නිවේදකයෙක් සහ පරිපාලකයෙක් විදිහට.
අණට අකීකරුවීමේ චෝදනාවට යුධාධිකරණයක් හරහා වැළිකඩ බන්ධනාගාරයෙන් අවසන් වන ඒ ඉතිහාස තීරුව, ”Armyආමි” කෘතියට ගොනු කරද්දිත්, අසෝක තිලකරත්න දක්වා වන ඒ සොඳුරු මිනිස්සු මග හරින්න බැරි වුණා.
අසෝක තිලකරත්න නියෝජනය කරන්නෙ – නිරූපණය කරන්නෙ, පසුව ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බවට පත් වන, අපේ රට – රාජ්ය – ජාතිය ගොඩ නගන ප්රධාන ”සන්නිවේදන බලය” Radio Ceylon මහා ඉතිහාසය. ඒත් ඔහුට සමාන්තර, ඔහුගේ මහා පරම්පරාවෙ අනෙක් ප්රවීණයන් වගේම ඔහුත් ඒ ‘බලය’ වටහා ගන්න උත්සහ කෙරුවෙ නෑ, පාඩුවෙ තමන්ගෙ වැඩක් කරගෙන ඔහේ හිටියා, ඔවුන්ට තිබුණෙ ගුවන් විදුලි මැදිරි ජීවිත! ඒ හිරි වැටුණු ස්වභාවය නිසාම වරින් වර පක්ෂ දේශපාලන ගොදුරු බවටත් පත් වුණා. අපරාදෙ!
1990 දශකයේදි, චන්ද්රිකා – මංගල – නිව්ටන් ”ලක්හඬ ව්යාපෘතිය” පටන් ගත්තෙම, ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉවර කරන්න, දැන් නිශ්චිතයි! ඊනියා ජාත්යාන්තරය වෙනුවෙන් මහරාජලා දිනවලා ජාතිය කඩා වට්ටන්න ගහපු ‘ගේම’ සෑහෙන්න සාර්ථකයි!
අසෝක තිලකරත්නගෙ ආදරණීය ගමන් සගයෙක් වන, ඔය මුලින් කියපු චන්දන තිලකරත්න තමයි මේ මහා ඛේදවාචකයෙ කූටප්රාප්තිය! EAP දේශීය සන්නිවේදන ව්යාපාරික ජාලය අල්ලිරාජා සුභාස්කරන්ගෙ ගොදුරක් බවට පත්වන කතාවෙ තැනක ඉන්න චන්දන ගැන සහ අදාළ සංකීර්ණ ඉතිහාස තීරුව පරීක්ෂාකරන මේ විඩියෝ සටහනත් දැන් පරිස්සමට කියව ගන්න උත්සහ කරන්න! එතකොට මේ සංවාදය තවත් පළල් වෙනවා.
අති දක්ෂ, ඒ නිසාම ප්රවීණ සහ ජ්යේෂ්ඨ, මේ සන්නිවේදකයන් තමන් ගොදුරු බවට පත් වන සහ රට – රාජ්ය – ජාතිය බිඳ වට්ටන, ඓතිහාසික දේශපාලන විකාශය, එහි සන්නිවේදන සන්දර්භය වගේම, ඒ ඒ මොහොතට වර්තමාන භූ දේශපාලනික පෙළ ගැසීම් ගැන කිසිදු අවබෝධයක නැහැ, ඒ කිසිවක් ගැන උනන්දුත් නැහැ! කටහඬ පමණක්ම ජීවිතය කර ගත් ඔවුන් එක අතකට මාර අහිංසකයි, ඒත් මාරාන්තික විදිහටම, අපි මේ මුහුණ දෙමින් සිටින මහා භූ දේශපාලන ඛේදවාචකයට වග කියන්නත් ඕන.
එදවස, සොල්දාදු ජීවිතයට අභියෝග කරමින්, කොළඹ විශ්ව විද්යාලයෙන් ජනමාධ්ය හදාරන්න ගිය මම අවසන් නිබන්ධනය ලිව්වෙ, ඒ මොහොතෙ රට වටකරමින් තිබුණු මේ කළු දේශපාලනය ගැන, ”මිත්යාව” තමයි තේමාව. නිබන්ධනයෙ අත් පිටපත මුලින්ම බලන්න දුන්නෙ චන්දන තිලකරත්නට, ඔහු හිතුවෙ, එය ”ජනමාධ්ය” කියන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න බැරුව මම කරපු අහිංසක වැඩක් කියලා. ”චාපාට ඕන ලෝකය වෙනස් කරන්න, නේද?” ඔහු උපහාසයෙන්, ඒත් සොඳුරු විදිහට මගෙන් අහපු හැටි තවම මතකයි. අසෝක තිලකරත්නටත් ”මිත්යාව” නිබන්ධනයෙ පිටපතක් දුන්නා මතකයි! ඔහු හිතුවෙ මම කරදරයක වැටිලා කියලා, හිතේ තිබුණෙ මා ගැන අනුකම්පාවක්, ඒ ඇස් මම තේරුම් ගත්තා! අසෝක මහත්මයා! ඔබ මං කියන දේවල් තැම්පත් ඉරියව්වෙන් සහ ඉවසීමෙන් අහගෙන හිටපු හැටි! අනේ මන්දා!
එහෙම කියලත් බෑ, අපි අනිවාර්යයෙන්ම යෝජිත සංවාදය ගොඩ නගන්නම ඕන, එය ඉතිහාසයෙ බල කිරීමක්!
ඉතිං අශෝක තිලකරත්න මහත්මයා, අහ්! සමාවෙන්න! අසෝක තිලකරත්න මහත්මයා ඔන්න සමුගන්න නං බෑ, සමු දෙන්නත් බෑ!
සංවාදය දිගටම!
CHAPA, March 14, 2024