ඔබ යන්න ගියා කියලා දැන ගත්තා, හිතට හිස් ගතියක් දැනුණා!
ඔබට මතකද? අපි මුලින්ම මුණ ගැහෙන්නෙ 2004 වගෙ, එතකොට ඔබ සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ රාජකාරි කටයුතුවලට විරාමයක් තියලා නාවල ගෙදර නිදහසේ කාලය ගෙවනවා.
ඔබේ ඒ ලස්සන ලොකු ගෙදර! මට තවම අමුතු මිහිරි මතකයක්…!
ඔබ කුඩා කල ගෙවුණු සිරගත වූ භෞතික ලෝකයේ සීමාවන් බිඳ දමා ඒ වගෙ විශාල ‘අවකාශයක’ ජීවත් වෙන්න ඔබ දැකපු හීනය ගැන ඒ දවස්වල ඔබ වරින් වර කියනවා තවම මැවෙනවා රෙන්ටන්! අපි ඒ අවකාශය තුළ කොච්චර කාලයක් කොච්චර දේවල් කතා කර කර ඉන්න ඇද්ද? ඔබේ ආදරණීය – සොඳුරු සංග්රහශීලී පිළි ගැනීම! සමහර දවස්වලට ඔබ මං එනතුරු උදේ කෑම ගන්නෙ නැතුව බලං ඉන්න විදිහ? අනේ මන්දා!
එදා මෙදා තුර එහෙම අත් දැකීමක් වෙන කොහෙදිවත් මම නං විඳලා නැහැ මිත්රයා, ඔබ නං මාරයි!
පුංචි තැනකින් අමාරුවෙන් ජීවිතය පටන් ගත්තු ඔබ ඉතාම දක්ෂ, ඉහළ පරිකල්පනයක් තිබුණු, හොඳ වෘත්තිකයෙක්, කිසිම සැකයක් නෑ! සංචාරක කර්මාන්තය තුළත් ඔබ කළ කී දෑ තවත් බොහෝ කාලයක් බොහෝ දෙනෙකුට මතක තියේවි!
ඔබ එක්සත් ජාතීන් සමග සහ තවත් ජාත්යන්තර සංවිධාන සමග ගනු දෙනු කළ ආකාරය ගැන නං අපි අතර කොච්චරවත් වාද විවාද තිබුණා, මගේ දැඩි විවේචන නිසා ඔබේ හිතත් රිදුණු වෙලාවලුත් මට මතකයි! ඔබ The Sunday Times පුවත් පතට ලියූ ”Random Thoughts” ලිපි පෙළ ඔබේම වියදමින් පොතකට අරං, ඒ පොත ‘නිදහස්’ ප්රකාශනයක් විදිහට සමාජ ගත කරන්න ඔබ ගත්තු තීරණය! එය සමාජගත කෙරුවෙ ඔබේ වියදමෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ, ඔබේ හිත මිතුරන් සමග පවත්වපු විවෘත සංවාදයක් හරහා!
ඒ අතීතය කොහොම අමතක කරන්නද රෙන්ටන්?!
2019 අප්රේල්! අපි ඔබේ දෙවැනි පොත ”මේ මගේ රට” ත් නිදහස් ප්රකාශනයක් විදිහට සමාජගත කෙරුවා, ඒ කාර්යබහුල දවස් ඔබට මතකයි නේද?
ඒ අතරෙ ඔබ ලියපු, මං වෘත්තීය මට්ටමෙන් රේඛා චිත්ර ඇඳපු පුංචි පොතකුත් අපි කෙරුවා ”Best Experience in Sri Lanka”- මතකද? ඒක නං වෙනස්ම අත්දැකීමක්! ඇත්තටම රෙන්ටන්, එකට වැඩ කරමින් අපි කොච්චර සතුටු වුණාද? ඔබ, අපට ඒ මුළු කාලය තුළම ආදරණීය මහා ශක්තියක්!
ම්ම්ම්…! අවුරුදු 7 – 8 ක් අපි එකට වැඩ කරන්න කොච්චර උත්සහ කෙරුවද? අපි එකට කරපු විවිධ ක්රියාකාරකම්, මැදිහත්වීම් සෑහෙන ප්රමාණයක්! ‘කූඹි’ පොතෙත් ඔබ ගැන මං විවෘතව ලිව්වා, ඔබ ඒ ගැන නං සතුටින් හිටියේ නෑ, මට මතකයි!
අන්තිමට, ඔබ ඔය අන්තිම දවස් ගෙවපු කිවුලෙ පවත්වාගෙන ගිය ඔබේම සංචාරක නිකේතනයෙ සන්නාම රූපය නිර්මාණය කරන්නත් අවස්ථාව ලැබුණෙ මට, ඒ සුන්දර අත්දැකීම් කොහොමටවත් මිල කරන්න බෑ රෙන්ටන්!
අපේ ගමන් මාර්ග අතර, බේරාගත නොහැකි පරතරය නිසාම අන්තිමට අපි එකිනෙකාට මග හැරුණා, අපරාදෙ!
ඒත් රෙන්ටන්! ආයෙම ඔබේ නාවල ගෙදර ලොකු සාලෙ ඉඳගෙන තේ බොන ගමන් මොනවා හරි කතා කර කර ඉන්න තවම ආසයි! ඔබ අමරදේවගෙ ගීත අහමින් සහ ඒවා මුමුණමින් සතුටින් කාරය පදවන ගමන් මාත් එක්ක විවිධ මාතෘකා ගැන කතා කරන දුර බැහැර ගමන් මට තවම හීනයක් වගෙ, ඇත්තමයි! අනේ රෙන්ටන්, ආයෙත් එහෙම දවස් එනවා නං!
CHAPA, Oct 15, 2024