ආයුබෝවන්! Good Morning! Mr. Mark Pompeo!

ආයුබෝවන්! Good Morning! 

          Mr. Mark Pompeo! ඔබ ශ්‍ර්‍රී ලංකාවට ආදරය්න් පිළි ගන්නවා! අපි, ශ්‍ර්‍රී ලාංකිකයන් කොහොමත් ආගන්තුක සත්කාරයට කැමති සහ අමුත්තන්ට ගරු කරන ජාතියක්. ඒ වගේම අපි, ශ්‍රී ලාකිකයන් පොදුවෙ උගත්, බුද්ධිමත් සහ ඒ නිසාම ලෝක දේශපාලනය ගැන කලාපීය දේශපාලනය ගැන හොඳට දන්නවා.               
          වසර  2500 කට වඩා ඈත ඉතිහාසයක් තියෙන අතිශය දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන අපි, විවිධ තත්ත්වයන් සහ හේතු මත පසුව යටත් විජිතයක් වුණාට, ඒ සියළු පරාජයන් සමග යළි යළි නැගිටින්නත් දන්නවා. 
          ඒ ඓතිහාසික සන්දර්භය තුළම 30 වසරක දෙමළ බෙදුමවාදී යුද්ධයකටත් මුහුණ දුන් අපි අවසානයේදි ඔබේ රට, ඇමරිකාව ඇතුළු තවත් බොහෝ රටවල විරෝධය මැද ඒ කුරිරු ත්‍රස්තවාදය අවසාන කරන්නත් සමත් වුණා. එල්ටිටී ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසාන කරනවාත් එක්කම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන Recharging Sri Lanka; US strategy after the war! වාර්තාවෙ ඔබේම රට ඉතා පැහදිලිව විග්‍රහ කරන බව ඔබ හොඳින් දන්නවා.
           Recharging Sri Lanka; US strategy after the war! අන්න අපේ මාතෘකාව! One Belt One Road චීන ව්‍යප්තවාදයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාවත්  යොදාගෙන ඉන්දු ශාන්තිකාර මෙහෙයුමක් ආරම්භ කරනවා, එ මූලික වාර්ථාව පදනම් කරගෙන. ඒ වනවිටත්, ඔබේ රට අපේ රටේ ඉරණවිල ප්‍රදේශයේ Voice of America මෙහෙයුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කරමින් හිටියෙ. ඒ, 80 දශකයෙ චීන් ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාන්විතයට සමගාමීව. 
           අපි ශ්‍රී ලාංකිකයන් හැටියට මේ සියල්ල ගැන දැනුවත්! චීනයට, ඉන්දියාවට සහ ඇමරිකාවට – ඔබේ රටට ශ්‍ර්‍රී ලංකාව කියන මේ දූපත, අපේ මව් බිම, භූ දේශපාලනික වශයෙන් අතිශය තීරණාත්මකයි. රටේ ආර්ථීක සහ මලිටරිමය මරමස්ථාන එකින් එක අත් පත් කර ගන්න ඔබ සියළු දෙනා උත්සහ කරන්නෙ ඒ නොනවතින බල පොරය නිසා බව අපි තේරුම් අරගෙන තියෙන්නෙ.
            මේ පොළොව ගැන, මේ පොළොව යට තියෙන අසීමිත ඛනිජ සම්පත් ගැන ශ්‍රී ලාංකිකයන් හැටියට අපට හොඳ අවබෝධයක් තියෙනවා. ඒත් අවාසනාවකට විවිධ හේතු මත අපේ දෙශපාලන නියෝජිතයන් චීන, ඉන්දියානු සහ ඇමරිකානු රූකඩ බවට පත් වෙලා. චීනය සහ ඉන්දියාව විවිධ උපක්‍රම හරහා අපේ රට ආක්‍රමණය කරන්න හදනකොට, ඇමරිකා එක්සත් ජනපදය ACSA, SOFA සහ MCC හරහා මේ රටේ ඉඩම් කොල්ල කන්න උත්සහ කරන පසුබිම නිර්මාණය වෙන්නෙ මෙන්න මේ සන්දර්භය තුළ. 
අපේ රට වෙනුවෙන් හිට ගන්න ඕන දේශපාලන පක්ෂ, සංවිධාන යම් ප්‍රමාණයක්, උගතුන්, බුද්ධිමතුන් සහ ව්‍යාපාරිකයන් යම් ප්‍රමාණයක් තම තමන්ගෙ වාසියට රට අමතක කරලා රට විකුණන්න හදනවා, ඒත් ඒ රටේ සමස්තය නෙවෙයි. රටේ සංස්කෘතික පොළොවෙ මහා බලය වුණු බෞද්ධ ස්වාමීන්වහන්සේලාත් මේ මොහොත වෙනකොට යම් යම් ප්‍රමාණවලින් රැවටිලා හිටියත්, අපේ රටේ ඉතිහාසයට අනුව, ජාතියක් හැටියට අපි වැටෙන්න හදනකොටම, ආයෙත් නැගිටින්න බලයක් ලැබෙනවා. අපේ පොළොවෙ ඓතිහාසික උරුමයක් එහෙමයි!
ඒ අනුව ඉතාම ඉක්මනින් මුළු රටම මේ මහා දේශපාලන ඛේදවාචකයට එරෙහිව සංවිධානය වෙනවාමයි, මොහොතකටවත් අපි දුර්වල ජාතියක් හැටියට ගණන් බලන්න එපා, ඔබට වරදිනවා.
           Mr. Pompeo! අපට, ශ්‍රී ලංකාවට ස්වාධීන රාජ්‍යයක් හැටියට ගොඩ නැගෙන්න ඉඩ දෙන්න, ඉන්දියාවට සහ චීනයටත් අපි මේ බව බල කරමින් කියනවා! ඒ වගේම, ඔය දේශපාලන බල පොරයෙන් ඔබ සියළු දෙනාට පරාජයම මිස ජයග්‍රහණයක් අත් නොවන බවත් අවධාරණය කරනවා.
මහා ඇලෙක්සැන්ඩර් වරෙක සේද මාවත දිගේ පැරණි භාරතය දක්වා එමින් ලෝකයම තමන්ගෙ අතට ගන්න කල්පනා කෙරුවා, ඒ සිහිනය සැබෑ වෙනවා වගෙ දැනෙනකොටම ඔහු මදුරුවෙක් දෂ්ට කරල යන්නම ගිය වග සමහර ඉතිහාස සටහන් තහවුරු කරනවා.
          ඇමරිකා එක්සත් ජනපද තාක්ෂණික ජයග්‍රහණ සඳහා වඩා පුළුල් අර්ථයක් ලබා දෙන්නත්, ඒ හරහා වඩා සුවදායක ලෝකයක් ගොඩ නගන්න මැදිහත් වෙන්නත්, අපි ශ්‍රී ලාංකිකයන් හැටියට ඔබට යෝජනා කරනවා!
           අවසන් වශයෙන්, අපේ පාලකයන් රූකඩ බවට පත් වුණාට, අපි – රටේ මහජනතාව, රූකඩ බවට පත් නොවන බව අපි ඔබට මේ මොහොතේ මතක් කර දෙන්න කැමතියි!
ඔබට හොඳ සංචාරක අත්දැකීමක් ලැබේවා!