ඉතිං රොහාන්…!

ඔබ භෞතිකව නික්ම ගිය බව දැන ගන්න ලැබුණා, ඒත් මේ සමුගැනීමක්, සමුදීමක් හෝ යළි මුණ ගැහීමක් පිළිබඳ සරල කතාවකට එහා යන – එක විදිහක මතක සටහන්!
දීප්ති කුමාර ගුණරත්න, නිර්මාල් රංජිත් දේවසිරි සහ ධම්ම දිසානායක සමග X කණ්ඩායමේ ප්රවේශය ගත් ඔබ, පසුව ඉන් එහෙ මෙහෙ වෙලා රස්තියාදු ගහන අතරෙ තමයි, නුගේගොඩ, නාවල පාරෙ, 151 ‘නිදහස්’ කාර්යයාලයෙදි ‘අපි’ මුණ ගැහෙන්නෙ. 71 කළු රංජි හෙවත් රංජිත් දිසානායක සහ මහරගම පිළිකා රෝහලේ එවකට භෞත චිකිත්සකයෙකු විදිහට වැඩ කරපු උපාලි වික්රමසිංහ හරහා තමයි ඔබ – මම, ‘අපි’ මුණ ගැහෙන්නෙ, මතකද?
එදවස ‘නිදහස්’ පුවත් පත හරහා ඔබේ ලිපි පෙළකුත් කොටස් වශයෙන් පළ වුණා, ඒ ලිපි සටහන් සහිත ‘නීදහස්’ පත්තර, ඔබ ඔබේ කණ්ඩායමක් එක්ක එහෙ මෙහෙ ඇවිද ඇවිද සමාජ ගත කෙරුවා. අවම මූල්යමය පැවැත්මක් මත තමයි ඒ සියල්ල සිද්ධ වුණේ.
ඔබ සහ ඔබේ අනුගාමිකයින් කිහිප දෙනෙක්ම, එදවස වරින් වර ‘නිදහස්’ කාර්යයාලයට යන එනවා, මොනවා හරි හප හපා උණු තේ තොළ ගාමින්, විවිධ මාතෘකා යටතෙ අපි පැය ගණන් අදහස් හුවමාරු කර ගන්නවා. එය එක විදිහක සුන්දර වැඩ බිමක්!
ඒත් ඔබ ‘කුමක්ද?’ ඔබට අවශ්ය වුණේ ‘කුමක්ද?’ කියල ‘අපිට’ බේර ගන්නම බැරි වුණා, 2003 – 2011 දිග කාලයම ගෙවුණෙ ඔහොමයි!
X කණ්ඩායමේ හැසිරීම, ඔබේ මුල් කාලීන සගයන්ගෙ ක්රියාකලාප දිහා දැන් බලනකොට ඔය ප්රශ්න දෙකම – දැන් වෙනකොට එදාට වඩා, හොඳටම අදාළයි!
‘දැනුම’ තොරොම්බල් කරමින් ගෙවුණු ඔය x අතීතයෙ තැනක මංගල සමරවීරත් ක්රියාශීලීව ඉන්න නිසා – ඒ ඉතිහාස තීරුව වඩා සංකීර්ණයි!
‘දැනුම’ ”තාක්ෂණික උපකරණ කෑලි බෑලි” බවට පත කරලා, එදවස තාරුණ්ය නිශ්ක්රීය කරපු චෝදනාව නං තවමත් එහෙමමයි රොහාන්!
ඒ කළු ඉතිහාස කතාව තවම ඉවර නෑ, දීප්ති කුමාර ගුණරත්න හෙවත් X හිමිකරු, මෛත්රීපාල සිරිසේන, චතුරිකා සිරිසේන සහ දම් සිරිසේන මැද හිටගෙන ”ඊනියා යහපාලන දැනුම” බෙදන තැන තමයි, මේ සංවාදය යළි ආරම්භ කරනවා නං – කරන්න, හොඳම තැන. රාජ්ය විශ්වවිද්යාල පද්ධතියට කෙළින්න කුරුමානම් අල්ල අල්ල, නොදන්න ”NGO වම”ක පටළැවී සිටින නිර්මාල් රංජිත් දේවසිරි, එහෙම නැත්තං Darley සූදු පොළේ ලැගගෙන ඉන්න ධම්ම දිසානායක කේන්ද්රීයවත්, යෝජිත සංවාදය යළි ආරම්භ කරන්න පුළුවං, ඔය සංවාද කලාපයෙ වාටියෙ ඉන්න ජංගි අරගලකාරයා, විදර්ශන කන්නන්ගරගෙ කර මත නැගලා වුණත්, අතීතය විශ්ලේෂණය කරන්න බැරි නෑ, ඒත් එය ප්රචණ්ඩකාරී වැඩක් නිසා, වෙන විදිහක් බලමු!
ඒ ඔක්කොමත් තියෙද්දි, ‘නිදහස්’ කාර්යයාලයෙ දිග මේසෙ වටේ ඉඳගෙන, ආයෙමත් පැය ගණන් කතා බහ කර කර ඉන්න නං කොහොමත් ආසයි!
පසු සටහන;
රොහාන්! ඔබ ඔබේ මුස්ලිම් ජාතිකත්වය වසංකරලා සිංහලයෙකුට ආරූඩ වුණේ ඇයි? ඔය රහස ඔබේ සමීපතයින් දැනගෙන හිටියද? ඔබ සිංහල බෞද්ධ ඝාතක කොන්ත්රාත්කරුවෙක්ද? එහෙම නැත්තං පුද්ගලික ආශාවන් සමග පටළැවෙමින් ඔබම රවටා ගත්තාද?
මේ නොවිධිමත් ප්රශ්න කිරීම නං බොරැල්ල කනත්තෙ හැමදාම වගෙ දෝංකාර දේවි!
CHAPA
April 13, 2024