උමා ඔය! ඉතිං අපිට සමාවක් නැහැ නේද?

පිදුරුතලාගල කන්දෙන් පැන නගින උමා ඔය, මහවැලි ගඟේ අතු ගංගාවක්. ‘උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය’ කියල හැඳින් වෙන්නෙ, මේ උමා ඔයේ ජලය ලුණුගම්වෙහෙර ජලාශය දක්වා රැගෙන යමින්, හම්බන්තොට දිස්ත්‍රික්කය පෝෂණය කිරීම. මෙහිදී, උමා ඔයේ ජලය කිරිඳි ඔය දිගේ යන්න සලස්සනව. මෙය බැලු බැල්මටම නිකං හොඳයි වගෙ පෙනුණ ට, ඇත්තටම මහා ස්වභාවික ව්‍යසනයකට පොළොව සුදානම් කරවීමක්. දැන් ඔන්න ‘සංවර්ධනය’ කියන්නෙ මොකද්ද! කියන මහා සංවාදය එනව.
මෙහෙම බලමු! මානව ශිෂ්ටාචාරයෙ  ආරම්භය කෙසේ වුණත්, ක්‍රමානුකුලව එය ස්වභාවය ( ධර්මතාව!) අතික්‍රමණය කරන්න අවශ්‍ය සියලු වෙර වීරිය යොදන්න ගන්නව. අන්තිමට බොහෝ දේවල් අත්පත්කරගෙන ‘ජීවිතය’ අහිමි කරගෙන. මේ මොහොත වෙනකොට ලෝකය පුරාම ඒ අහිමි වීමේ අඳුරු හෙවනැලි වැටිල.
කෙලින්ම අපි දැන් සංවර්ධනය ගැන අවධානය යොමු කෙරුවොත්, ලංකාව, රටක් හැටියට එක පැත්තකින් ස්වභාව ධර්මය සමග සුසංයෝග වන ඓතිහාසික සංවර්ධනයකට උරුම කම් කියනව. ගලාගෙන යන කිසිම ගංගාවකට හානියක් වෙන්නෙ නැතුව එදවස මෙහෙ මහා වැව් බැඳුණෙ අන්න එහෙමයි. එකල කෘෂි ජීවිතක් තිනුණෙ, කර්මාන්තයක් නෙවෙයි. කෘෂි ජීවිතය කර්මාන්තකරණයට ලක්වෙනකොට අපිට රටක් – සමාජයක් විදිහට බොහෝ දේවල් අහිමි වුණා. ඒක දිග කතාවක්!
කොහොම වුණත් ලංකාවෙ, පසු කාලීනව ඉදිවුණු දැවැන්තම ජලාශ ව්‍යාපෘතිය තමයි මහා වැලිය, එය ඇත්තටම ස්වභාව ධර්මයට එරෙහි ව්‍යාපෘතියක්, යහපත් ප්‍රතිඵල වලට වඩා අයහපත් ප්‍රතිඵල වැඩියි, නිකං හිතන්න, කුඩා වැව් පොකුරක් අතර තිබුණු දුම්බර මිටියාවත ට වෙච්ච දේ! භයානකම ආරංචිය තමයි ඔය මහා වේල්ල යටින් භූ පැල්මක් තියෙනවා කියන එක, ඇත්තටම මේ වෙනකොට ලෝකය පුරාම ‘මහා වේලි’ පිළිබඳ අවිනිශ්චිත පිළිගැනීමක් තියෙන්නෙ, අකමැත්තෙන් වුණත් ස්වාභාවධර්මතාව ගැන ආපිට හිතන්න මහා වේලි සැලසුම් කරුවන්ට සිද්ධවෙනව අන්තිමට කොහොමත්.
උමා ඔය ව්‍යාපෘතිය ගැන දැනටමත් කතා කරන්න වෙලා තියෙන්නෙ අයහපත් දේවල්! උමා ඔය ද්‍රෝණිය වියළි ලා, අවට හරිත ලෝකය සහ එහි පොළොව අස්ථාවර වෙනකොට එහි ජීවත්වන මිනිස්සු ගැන – සත්තු ගැන – ගහ කොළ ගැන කුමන කතා ද? ඊළඟ බරපතළ ප්‍රශ්නය උමං හාරන කොට සිද්ධ වෙන අස්ථාවරත්වය. එය ගෙවල් බිත්ති ඉරි තැලීමෙන් විතරක් නවතී වි කියල කෙනෙකුට හිතේවි ද?
කොහොම වුණත් දැන් උමා ඔය ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මකයි!
මේ සැලැස්ම පිළිබඳ යෝජනාව මුලින්ම එන්නෙ 1991 ආර්. ප්‍රේමදාස පාලන කාලයෙ. ආසියානු සංවර්ධන බැංකුව (ADB) ත් එක්ක ක්‍රියාවට නංවන්න එදවස ගැනුණු උත්සහය, විවිධ හේතු මත අසාර්ථක වුණා. ඊට පස්සෙ නැවතත් එය ක්‍රියාත්මක තලයට එන්නෙ 2007 – 2008 කාලයේ දි, මහින්ද රාජපක්ෂ ජනාධිපතවරය යටතෙ ඉරාන රජයෙ සම්බන්ධාතාවයෙන්. කොන්ත්‍රාත්තුව පැවරුණේ ‘ෆරාබ්’ කියන ඉරාන සමාගමට. ඉරාන අපනයන සංවර්ධන බැංකුව අවශ්‍ය ණය ප්‍රතිපාදන සඳහා එකඟ වුණා. ව්‍යාපෘතිය සඳහා වැයවන මුළු මුදල රුපියල් මිලියන 76316 ක්. වාර්තා වලට අනුව මේ මුළු මුදලම ඉරාන ණය  වශයෙන් ලැබෙන්නෙ නැහැ, අදාළ මුල්‍යමය ඉලක්කය සපුරා ගන්න ආකාරය ත් නිශ්චිතව තවම නිල වශයෙන් ප්‍රකාශ වෙලා නැහැ. ඒ වෙනම සාකච්චාවක්. ප්‍රධාන සියලු ප්‍රශ්න අතර, මොන විදිහකට හොයාගත්ත ත් මේ සා විශාල මුදලක් අපි රටක් විදිහට දරන්නෙ කොහොමද ? සහ එහෙම දරන්නෙ මොන යහපත් ප්‍රතිඵල වෙනුවෙන් ද කියන ප්‍රශ්න ත් ඊළඟට එනව.
2008 අප්‍රේල් 29 ආරම්භ කරපු මේ උමා ඔය ව්‍යාපෘතියෙ ශක්‍යතා අධ්‍යන වාර්තාව ඉතා දුර්වල සහ දෝෂ සහිත බව ඒ වෙනකොට ත් යම් යම් පිරිස් සාකච්ඡාවට ගනිමින් හිටියෙ. පසුව, 2010 දි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සකස් කෙරුණු අවසාන පරිසර ඇගයීම් වාර්තාව ගැනත් රට තුළ විධිමත් අවධානයක් යොමු වුණේ නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය මේ වැඩවල දි ඉදිරි පෙළ නියෝජනයක් දුන්නත් එය සාමන්‍යයෙන් වෙන විදිහටම ශක්තිමත් එකක් වුණේ නැහැ. අන්තිමට කොහොම කොහොම හරි උමා ඔය වව්‍යාපෘතිය දියත් වෙන්න පටන් ගත්ත, අද දක්වා.
උමා ඔය! අපි ඔබේ ගමන් මග අවුල් කරල, ඔබ සහ ඔබ ජීවිතය දෙන හරිත ලෝකයම විකෘති කරනව, ඉතිං අපිට සමාවක් නැහැ නේද?
CHAPA