උඹත් බල්ලෙක් හොඳේ! නිකං නෑ වගේ හිටියට…

ඒ ගිය සතියෙ දවසක්. මම හිටියෙ බත්තරමුල්ලෙ කඩ සාප්පු අද්දරක. 
එක චීන කාන්තාවක්, පොඩි සුදු බල්ලෙක් ඉස්සර කරගෙන පදික වේදිකාව දිගේ කඩිසර ගමනින් ඇවිදගෙන යනවා. ඒ පදික වේදිකාව අයිනෙ කුණු තැවරුණු වල් බල්ලෙක් කටත් ඇරගෙන කොයි පැත්තට ද යන්නෙ කියල බල බලා ඉන්නවා. ඌ අර පිළිවෙළකට ඇවිදගෙන යන බල්ලා දිහා විමසිල්ලෙන් බැලුවා. ”උඹලට නං ඉතිං මොකෝ!” අන්න එහෙම බැල්මක්. අර බල්ලාගෙ ප්‍රතිචාර බැල්මෙ තිබුණෙ නං ”ඔය උඹලගෙ කරුමෙ!” වගෙ එකක්. 
එතකොට ම අර කාන්තාව ළඟ සාප්පුවකට ඇතුළුවෙන්න ඕනකම ට ඇයගෙ සුරතලාව අත්දෙකෙන්ම උස්සලා කිහිල්ලෙ ගහ ගත්තා, හරියට අම්මා කෙනෙක් බබාව වඩා ගන්නවා වගෙ. එතකොට ම වල් බල්ලාගෙ හති අරින කට පැත්තකට හැරවිලා  ‘බුහ්! කියවුණා. 
”ඉරිසියා කරන්න එපා හලෝ! උඹලට ඔහොම වෙලා තියෙන්නෙ ඔන්න ඔය ගතිය නිසා!” චීන කාන්තාව ගෙ කිහිල්ල අස්සෙන් පාරට දාගෙන තිබුණු බල්ලගෙ බැල්ම එහෙම එකක්.
”අපි යයි චීන්නුත් එක්ක! උඹලාට ජාතියක් ජන්මයක් නැහැ!”
වල් බල්ලගෙ බැල්ම.
”අනේ පව්! උඹලට මෙහම  අවස්ථාවක් ලැබුණොත් නිකං ඉඳියි!”
වල් නැති බල්ලගෙ බැල්ම.
”අනික මම උඹලගෙ එකෙක් නෙවෙයි, මමත් චීනෙක්..අපේ කට්ටිය උඹලව වඩා ගන්නෙ නෑ, උඹලට ඕන නං අපේ කට්ටිය වඩා ගනිල්ලා!”
”වැඩේමයි! බුහුහ්! උඹ කොහේ වුණත් මොනවා හිතාගෙන හිටියත් උඹත් මං වගේම බල්ලෙක්, නිකං නෑ වගෙ හිටියට! බලාපං උඹේ පස්සත් එළියෙ, මගෙ පස්සත් එළියෙ… අන්න ඒ වග දැනගෙන හිටපං!” 
තම ගමන් දිශාව හදිසියෙ තීරණය කරන වල් බල්ලා, අනිත් බල්ලා දිහා තම අන්තිම බැල්ම හෙළුවා, ඒත් ඒ වුණාට එතකොටත් ඌ අර  සාප්පු දොරෙන් නොපෙනී ගිහිං. 
වල් බල්ලත් ඉතිං ගියා, කොහේ ගියාද මන්දා!
CHAPA