එහෙම ද ?

”ම්…ඇයි නිකං කඩා වැටිලා ඉන්නෙ?”
මම ඔහු ප්‍රශ්න කරන්න පටන් ගත්තා.
”එහෙම වෙන්න බැහැ! ඔබ වෘත්තිකයෙක්…දැන් මැද වයසට ළඟ කෙනෙක්, ජීවිතය කෙළින් කර ගන්න, මම ඔබට උදව් කරනවා!”
ඔහු නිහඬව මට කන් දීගෙන ඉන්නවා. අහිංසක පුංචි සිනහවකුත් ඒ මුහුණෙ සටහන් වෙනවා. මම, මාධ්‍ය සහ මානව සම්බන්ධතා උපදේශකයෙක් සහ ක්‍රියාකාරිකයෙක් විදිහට වැඩ කරපු එක ආයතනයකදි තමයි මට මේ  අත්දැකීම ලැබෙන්නෙ.
ඔහු උපාධිධාරියෙක් සහ විශේෂ වෘත්තිකයෙක්.
”එහෙම නං අපි පටන් ගම්මු…මේ දැන්, මේ මොහොතේ පටන්…ලෑස්ති ද?”
හදිසි සම්මුඛ පරීක්ෂණයකදී මෙසේ මට අභිමුඛ වන ඔහු, හිස සලමින් එකඟතාව පළ කරනවා.මධ්‍යම පළාතෙන් පැමිණ සිටි ඔහු, පෙනුමෙන් හොඳටම අබලන් වෙලා හිටියෙ. අපිළිවෙළ කොණ්ඩය සහ නොසැලකිල්ලෙන් කපා දමා තිබු රැවුල නිසා මුහුණෙ ඇඳිලා තිබුණෙ ප්‍රසන්න පෙනුමක් නෙවෙයි. ඒ මදිවා ට නිතර බුලත් විට හැපීමෙන් කහට පාට වී තිබුණු දත් දෙපළ ඔහුට එක විදිහක විකාර පෙනුමකුත් එකතු කරලා. මේ ප්‍රමාණයට අධ්‍යාපන සුදුසුකම් ලැබූ කෙනෙක් මෙහෙම වෙන්නෙ ඇයි?
අදටත් අමාරු ප්‍රශ්නයක්.
”හෙට ඉඳලම ඔබ වැඩ පටන් ගන්නවා, හැබැයි මේ දැන් ඉඳලම බුලත් කෑම නවත්තන්න ඕනෙ, කැමති ද?”
”කැමතියි!”
”එහෙම නං මේ දැන්ම dentist කෙනෙක් ළඟට ගිහිං ඔය දත් සුද්ද කරගන්න, කොණ්ඩය ලස්සනට කපා ගන්න…රැවුලත් හරියට කපා ගන්න…අද ඉඳලා අපි අළුත් ජීවිතයක් පටන් ගන්නවා…”
”ඔව්! මම එහෙම කරනවා!”
ඔහුගෙ කෘතවේදී බැල්මපිටිපස්සෙ අන්න ඒවගෙ අධිෂ්ඨානයකුත් තිබුණා.
ඉතිං අපි වැඩ පටන් ගත්තා. අදාළ වෘත්තියේ සුදුසුකම් ලබා තිබුණා වුණත්, ඊට අදාළ රාජකාරි කටයුතුවලදි ඔහු ඉතාම පසුගාමී තැනක ඉන්න බව තේරුම් යන්න පටන් ගත්තා. හීනි කම්මැලිකමකුත් ඒ අස්සෙ තිබුණා. ආයතනයක් හැටියට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය ඔහුට වැටුප් ගෙවන එක. ඒක සමාජ ආයෝජනයක් විදිහට ගන්න පුළුවන් වුණත් ආයතනය පැත්තෙන් ප්‍රයෝගික ප්‍රශ්න ඇති කරන වෙනස් තත්වයක්.
‘ඔයා හරි, අපි මෙයාව මනුස්සයෙක් කරමු, ඒක වැඩක්…”
අදාළ ආයතනයෙ සභාපතිවරයා ඒ අතර මාව ධෛර්යමත් කෙරුවා. ඔව්! දැන් නං වැඩේ අත අරින්න බැහැ. ඒ වනවිට අදාළ ආයතනය කේන්ද්‍ර කරගෙන ගොඩ නැගෙමින් තිබුණු සංවාද වැඩ බිමේ දි ඉතිං ඔහු ගොඩ නැගෙන්නම ඕනෙ!
”ජීවිතය විඳින්න ට…” තේමාව කරගත්, එවර ඔහුම ඉලක්ක කරගත් විශේෂ වැඩසටහන් මාලාවක් ඉතිං ඔහුටත් නොදැනෙන්න දියත් කෙරුණා. කාලයත් හෙමින් හොරෙන් ගෙවිලා ගියා. සති කීපයක් යනකොට ඔහු ඉක්මනට වෙනස් වෙන්න ගත්තා.
දැන් ඔහු පිළිවෙළකට අඳිනවා, කොණ්ඩය රැවුළ පිළිවෙළකට නඩත්තු කරනවා. කහට මැකී මතු වූ දත් දෙපළ නිසා මුහුණට අළුත් කාන්තියක් ඇවිත්. රාජකාරි කටයුතුත් එන්න එන්න කාර්යක්ෂම වෙනවා.
කෝ දැන් අර අවතැන් වුණු මනුස්සයා?!
මාර වැඩේ!
අපි අපි කතා වුණා,
දවසක් හදිසියේම ඔහු මාව හොයාගෙන ආවා.
”මම මේ ආවෙ වැදගත් දෙයක් කතා කරන්න…”
ඔහු කෙළින්ම කතාව පටන් ගත්තා. අර මුලින් තිබුණු කෝඩුකාර ගතිය අහලකවත් නැහැ. ඒත් වෙනදා නොතිබුණු අමුතු ගතියක් ඒ මුහුණෙ සහ හැසිරීමෙ තිබුණා.
”මම ආපු දවසෙ ඉඳලා බැලුවා මගෙ වැටුප මදි…අනෙක මම වගෙ qualified කෙනෙකුට demand එකක් තියෙනවා…”
මොකක්?
මම එහෙම ඇහුවෙ නැතුව ඇති. ඒත් ඊට සමාන ප්‍රශ්නයක් මගෙ මුහුණෙන් මතුවෙන්න ඇති.
”ඇයි මේ හදිසියේම?”
මම එහෙම නං ඇත්තටම ඇහුවා.
”හදිසියෙ නෙවෙයි…මම මුල ඉඳලම ඒ ගැන හිතමින් හිටියෙ…”
”එහෙම ද?”
”වෙන කම්පැනි එකකට ගියා නං මීට වඩා ලොකු සැලරි එකක්…නිල වාහනයක්…තවත් විශේෂ වරප්‍රසාද ලබා ගන්න පුළුවන්…”
”එහෙම ද?”
අහන්න කිසිම වෙනස් ප්‍රශ්නයක් ඔළුවට එන්නෙම නැහැ.
”මට හෙට නිවාඩුවක් ඕනෙ…මම මේ එක කියන්නත් එක්ක ආවෙ…හෙට මට වෙන company ඒකක interview එකක් තියෙනවා”
”එහෙම ද?”
වෙන ප්‍රශ්නයක් ඔළුවට එන්නෙම නැහැ.
මාර වැඩේ?
ඒ වුණා ට ටික දවසකට පස්සෙ අස්වීමේ ලිපියක් භාර දීලා ඔහු ගියා, කොහේ ගියා ද කියලා නං දන්නෙ නැහැ!
CHAPA