මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි! කියලා ඔබ ලියනකොටම, නෑ! මේ, අප ඔබ වෙන් කෙරුණු නගරයයි! කියලා, අපි ඔබට වෙඩි තියලා මරා දැම්මා.
ඔබ කිව්වෙ, අපි වෙන්වෙමු අපේ රහස් අහස් තලයට පවරා! කියලා.
ඔව්! අපි ඒක ඒ විදිහටම කෙරුවා.
ඔබ මරා දාපු කතාව සදාකාලික රහසක් විදිහට එහෙම ම හිස් අහස් තලයට පැවරුණා!
1989 ජුලි 31!
හරියට ම අද වගෙ දවසක්…
අනේ ඒ මූසළ දවස උදා නොවුණා නං!
ඔබ මරා දැම්මෙ, ජවිපෙ ද, හඩ්සන් සමරසිංහ ද තවත් කවුරුහරි ද කියලා අපි තවම හරියට දන්නෙ නැහැ. ඒත්, සහතිකයි! අපි ඔබට වෙඩි තිව්වා, ඔබ මරා දැම්මා. කිසිවෙකුටත් හිංසාවක් නොකරපු ඔබ, කතා කියමින්, ගී ලියමින් අප සැනසූ ඔබ, අපි මරා දැම්මා.
අපට සමාව නං දෙන්න එපා!
ප්‍රේම්! ඔබ, වියෝව ගැන සහ විරහව ගැන අපට හුඟාක් දේවල් කියා දුන්නා. ඒත් ඔබට, ඔබේ වියෝව දැනුනෙ කොහොමද?
මම දන්නවා ඒක හරිම නරුම ප්‍රශ්නයක්. ඒත් ඔබ දැනගෙන හිටියද, දවසක අපි ඔබට ඔහොම කරයි කියලා? තුවක්කුව ඔබට ඉලක්කය ගන්නකොට, ඔබ මොහොතක් ගොළු වෙන්න ඇති, ඔබට ගැඹුරු සුසුමක් පිටවෙන්න ඇති. ඔබ පොඩි දරුවෙක් වගෙ ඉකි ගහන්න ඇති, ඒත් වැළපෙන්න කලින් උණ්ඩය ඔබ පසාරු කරන්න ඇති!
ඔබ මරා දැම්මෙ ඇයි? අපි ජීවත්වෙන්නෙ ඇයි? ඔබ කළ සහ අප නොකළ වැරැද්ද මොකද්ද? මේ ප්‍රශ්නය හරිම බරපතළයි. මුළු මානව ඉතිහාසය පුරාම ඔබ වගෙ අය දස දහස් ගණනින් ඇති.
දේශපාලනය, සමාජය, අරගලය, ජීවිතය!
අනේ ප්‍රේම්! මේ ගැන කතාකරන්න, ඔබ දවසක ආපිට එනව නං!? ඒත්, එපා! අපි අනිවාර්යනම ඔබට ආයෙත් වෙඩි තියයි, එක්කො එදා වගේම වෙඩි තියනවා බලාගෙන ඉඳියි!
අපි දන්න ජීවිතයක් නැහැ! ඔව්! අපි කොහොමත් මැරිලා…
CHAPA