2018-02-18
නොරොච්චෝලෙ තාප බලාගාරය හෙවත් ‘ලක්විජය’ මේ වන විට මුළුමනින් ම අක්‍රීය වෙලා. ලංකාවට සාමාන්‍යයෙන් අවශ්‍ය විදුලිය 1700 – 2300 MW අතර ප්‍රමාණයෙන් ලක්විජය, 900 MW ප්‍රමාණයක් සපුරනව, එය රටේ ජාතික විදුලි බල අවශ්‍යතාවෙන් තීරණාත්මක ප්‍රමාණයක්. ලක්විජය මුළුමනින්ම බිඳ වැටී තිබියදී ත්, රටේ විදුලි සැපයුම ඉතා සුළු සුළු වශයෙන් පමණක් කපා හරිමින් අඛණ්ඩව පවත්වා ගැනීම ට ආණ්ඩුව ට හැකි වීම යහපත් තත්වයක්. මේ වන විටත් වැටෙමින් පවතින වැසි ඊට විශාල සහයක් ලබා දෙනව. කොහොමත්, දේශපාලන බල අධිකාරිය සහ විවිධ බලධාරීන් මෙන්ම අදාළ වෘත්තිකයන් එක්ව පවත්වාගෙන යන මේ ‘කළමනාකරණය’ ඉතා හොඳ මට්ටමක්.
‘ලක්විජය’ මෙහෙම එකවර බිඳ වැටුණෙ ඇයි ?
හැබැයි මේ එහි පළමු වැනි බිඳ වැටීම් නං නෙවෙයි. වාර්තා සටහන් වලට අනුව 2011 සැප්තැම්බර් 28, 2012 ජනවාරි 5 -18, 2012 ජුලි 21, 2012 අගෝස්තු 9, 2013 ජනවාරි 29, 2016 මාර්තු 13 සහ පහුගිය සතියෙ සෙනසුරාදා වෙනකොට වෙච්ච විශාලතම බිඳ වැටීම. මේ බලාගාරය තම පළමු පියවර ක්‍රියාන්විතය පටන් ගන්නෙ 2011 මාර්තු 22, දෙවැනි ක්‍රියාන්විතය 2014 සැප්තැම්බර් 16. මීට අමතරව වාර්තා නොවුණු තවත් යම් යම් බිඳ වැටීම් තිබුණ කියලත් වාර්තා වෙනව. ඒ අනුව ‘නව තාප බලාගාරය’ ක ආරම්භක අවධියෙම මේ විදිහෙ එක දිගට සිද්ධ වෙන බිඳ වැටීම් යම් අසාමාන්‍ය බවක් තහවුරු කරනව.
එක්කො මේ තාප බලාගාරය නියමිත ප්‍රමිතීන් ට අනුකුල ව ස්ථාපිත කරල නැහැ. එක්කො පරිපාලන ප්‍රශ්න නිසා අදාළ ක්‍රියාන්විත ය හරියට සිද්ධ වෙන්නෙ නැහැ. එක්කො දිගින් දිගට ම යම් කඩාකප්පල් ක්‍රියාවලියක් දියත් වෙනව.
ලක්විජය පිහිටුවන සාකච්ඡාව 1990 ගණන් වලට ම යනව. ඒ අතරෙ, මෙහි 300 MW සඳහා වන පළමු පියවර සඳහා EIA වාර්තාව සකස්වෙන්නෙ 1998 දි. ඉදිරි කටයුතු 2005 දි, කොන්ත්‍රාත්තුව අත්සන් කරන්නෙ 2006 දි. ඒ, China Machinery Engineering Corporation සමග. මුල් පියවරට ( Phase 1 ) ඇ .ඩො. බිලියන 1.35 ක්. එයින් ඇ. ඩො. මිලියන 450 ක් Exim චීන බැංකුව ණයක් විදිහට ලබා දෙනව. Geological Survey and Mines Bureau, Urban Development Authority ( UDA ), Marine Pollution Prevention Authority ( MPPA), Department of Fisheries and Aquatic Resources, Central Environmental Authority (CEA), North Western Provincial Environmental Authority ( NWPEA ) යන ආයතන සමුහය ම වෙන් වෙන් වශයෙන් මේ ව්‍යාපෘතිය ට අනුමැතිය ලබා දෙනව. එහි තේරුම, අදාළ ව්‍යාපෘතිය ප්‍රකාශිත ප්‍රමිතීන්ට අනුකුල යි කියන එක. කෙනෙක් තර්ක කරන්න පුළුවං, ඔය ආයතන වල අනුමැතිය ලැබුණු පමණින් අදාළ ආයතනයෙ සාර්ථක හෝ අසාර්ථක බව මනින්න බැහැ! ඒ ඒ විෂය පථයන් වෙනස් නිසා කියල. පිළිතුර සරලයි. ඕනෑම ව්‍යාපෘතියක තාක්ෂණික පදනම සහ ඊට අදාළ යෝජිත ප්‍රමිතීන් පිළිබඳ නිවැරදි තක්සේරුවක් නැතුව ඔය කිසිම ආයතනයක ට ඔය එක අනුමැතියක්වත් දෙන්න බැහැ. එහෙම පුළුවං නං ඉතිං ඒ අනුමැතිවලින් කාටවත් වැඩක් නැහැ – කාටවත් වගකියන්නෙ නැති නිසා. අනෙක එහෙම අනුමැතියක් දෙන්නෙ කොහොම ද? උදාහරණයක් විදිහට අපි බලමු අනුමැතිය. මත්ස්‍ය සහ ජලජ සම්පත් ආරක්ෂා වෙන්නෙ කොහොම ද, මේ තාප බලාගාරයෙ ක්‍රියාන්විතය යෝජිත ප්‍රමිතීන් ට අනුකුල නොවන විදිහට සිද්ධ වෙලා මුහුද ට සහ ඊට සම්බන්ධ පරිසර පද්ධතිය ට හානි වන අපද්‍රව්‍ය මුදා හැරෙන්න ගත්තොත්? ඇත්තට ම දැන් වෙමින් තියෙන්නෙ ඒක තමයි!
එතකොට අපිට පේනව, ලක්විජය පිළිගත් මූලික ප්‍රමිතීන් උල්ලංඝණය කරල තියෙනව නං, අනිවාර්යයෙන්ම ඔය කියන සියළු ආයතන ඒ ‘කර්මාන්ත අපරාධයට’ වගකියන්න ඕනෙ. ඊළඟට, ඔය ව්‍යාපෘතිය සිද්ධවෙන්නෙ එවකට බලශක්ති පිළිබඳ අමාත්‍ය චම්පික රණවක යටතෙ. ලක්විජය අසාර්ථක ව්‍යාපෘතියක් නං රාජපක්ෂ ගිණුම ට වැරැද්ද බැර කරල, චම්පික රණවක ඇමතිවරය ට කිසිසේත්ම, ‘වගකීමෙන්’ ගැලවෙන්න බැහැ!
ඊළඟ කතාව තමයි, ලක්විජය ව්‍යාපෘතියක් විදිහට සාර්ථක යි, ඒත් නුසුදුසු බලධාරීන් පත්කරල අදාළ ආයතන පැවැත්ම අනතුරට දාල කියන එක. මේ චෝදනාව එල්ල කරන්නෙ ලංකා විදුලි බල මණ්ඩලයෙ සේවක සංගමය. ඒක එහෙම ද? ඔවුන් කියන්නෙ යාන්ත්‍රික ඉංජිනේරුවන් වෙනුවට විදුලි ඉංජිනේරුවන් යටතට මේ බලාගාරය පත් කිරීම, අදාළ කඩා වැටීම් වලට හේතු වෙලා කියන එක.
ඉන්දියානු මැදිහත්වීම ක්?
තුන්වැනි තත්වය තමයි, මේ පිටිපස්සෙ යම් කඩාකප්පල් ක්‍රියාවලියක් තියෙනව ද කියන එක. ඒ කියන්නෙ, මේ චීන ව්‍යාපෘතිය අසාර්ථක බව පෙන්වමින් ලංකාවෙ විදුලි බල අධිකාරිය ඉන්දියාව අතට පත් කරන්න කාට හරි උවමනා කරල තියෙනව ද? එතකොට ආණ්ඩුව පාර්ශවයෙන් ඇහෙන්නෙ, අපි ප්‍රතිපත්ති තීරණයක් මත සාම්පුර් තාප බලාගාරය නවත්තන්න තීරණය කරනකොට එහෙනං ඇයි ඉන්දියාව ඊට සහය දෙමින් කකුලක් පස්සට ගත්තෙ? කියන කතාව. සාම්පුර් කියන්නෙ, 2006 දෙසැම්බර් 29 ලංකාව සහ ඉන්දියාව අතර අවෝධතා ගිවිසුමක් අත්සන්කරල මූලික වැඩකටයුතු පවා සුදානම් කෙරෙමින් තිබුණු ව්‍යපෘතියක්, ඉන්දියානු සමාගම සමග 500 MW ඉලක්ක කරගත්ත ගල් අඟුරු තාප බලාගාරයක්. වත්මන් විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් P පෙරේරා කියන විදිහට ජනාධිපතිවරය සහ අගමැතිවරය එකට ගත්ත තීරණයක් ලු! No more coal! කියන එක. ඒ කියන්නෙ ලංකාවෙ නැවත ගල් අඟුරු තාප බලාගාර ඉදිකරන්නෙ නැහැ කියන එක. ඒක එහෙම වෙන්න පුළුවං ද? එච්චර නිර්භීත තීරණයක්!? අනෙක ETCA හරහා ලංකාව ආක්‍රමණය කරන්න දත කට මදින ඉන්දියාව!? දැන් ඔන්න සැකයක් එනව, ඉන්දියාව වෙන ක්‍රමයකට ලංකාවෙ විදුලි බල අධිකාරිය අතට ගන්න හදනව ද කියල, සාම්පුර් පොඩි වැඩක් නෙ එහෙම බලනකොට. ඊළඟට සිද්ධවෙන්න යන දේ අපි විමසිල්ලෙන් බලාගෙන ඉම්මු!
කොහොම වුණත්, මේ වෙනකොට පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ මහාචාර්ය ජනක ඒකනායක ප්‍රධාන කමිටුවක් පත්කරල නොරොච්චෝලෙ වර්තමාන තත්වය හොයල බලන්න, දීල තියෙන්නෙ සති දෙක ක කාලයක් ලු! අපි ඒකත් බලමු!
No more Coal!
ලෝකය ම තියෙන්නෙ බලශක්තිය පිළිබඳ අර්බුදයක. විදුලිය ගත්තොත්, ඉන්ධන – ජලය – සුළං – සුර්ය තාප…වගෙ ප්‍රභවයන් විදුලිය උත්පාදනය සඳහා බහුලව යොදා ගන්නව, ගල් අඟුරු ත් ඉන් එකක්. න්‍යෂ්ටික බලය ගැනත් ලෝකය දැන් සෑහෙන විස්වාසයක් තියල තියෙනව. ඒ අස්සෙ රටවල් නටවන්න, ග්‍රහණය ට ගන්න, යටත් කරගන්න…තීරණාත්මක හැකියාවක් තියෙන මානව උවමනාවක් තමයි විදුලිය. ඒ නිසා ම ඊට අදාළ ගෝලීය පරිමාණ මහා වෙළෙඳ පොළක් මේ වනවිට ක්‍රියාත්මක යි. ලංකාව ත් කොයි මොහොතක හරි පහසු ගොදුරක් වෙන්න නියමිත ත් අන්න ඒ වෙළෙඳ පොළ ට. ඒ නිසයි අපි රටක් හැටියට මීට වඩා සුදානම් වෙන්න ඕනෙ.
දැන් ආයෙත් නොරෝච්චෝලෙ ලක්විජය දෙස ට හැරෙමු! අපි මෙතක් සාකච්ඡා කරමින් ඉන්න අර්බුදයට සමගාමී තවත් බරපතළ අර්බුදයක් මෙතැන තියෙනව. කොහොම ගත්තත් ගල් අඟුරු තාප බලාගාර ස්වභාව ධර්මයට නො සෑහෙන්න හානිකරනව. කල්පිටිය අර්ධද්වීපයෙ, පුත්තලම ප්‍රදේශයෙ, ලක්විජය පිහිටුවා තියෙන තැන අවට කිලෝ මීටර් දෙක තුනක වට රවුමක ට එහි බරපතළ හානි දැනටමත් දැනෙන්න පටන් අරන්. ගල් අඟුරු දහන ක්‍රියාවලියට අවුරුද්දකට ජලය ගැලුම් බිලියන 70 – 180 ත් අතර ප්‍රමාණයක් යොදා ගැනෙන එක එක ප්‍රශ්නයක්. මුහුදෙන් මේ සා විශාල ජල ප්‍රමාණයක් ඇදල ගන්නකොට මත්ස්‍යයන්, මත්ස්‍ය බිත්තර සහ තවත් මුහුදු ජීවීන් ඒ සමඟ ඇදිල ඇවිත් විනාශ වෙනව. ඒත් එක්කම, ඉවත් කරන උණු වූ ජලය මුදා හැරෙන්නෙ මුහුද ට, කිලෝ මීටර් පහක විතර දුරින්. තව අපිරිසුදු ජලයත් වරින් වර මුහුදට දානව. මේ ජල දුෂණය මුහුදෙ ජෛව විවිධත්වය ට විශාල හානියක්. මත්ස්‍ය සම්පත වඳ වෙන්න ත් ප්‍රධාන හේතුවක්. ඊළඟට කළපු ආශ්‍රිත ප්‍රදේශ ත් මේ අනතුරට ම මුහුණ දීල. ඉස්සන් ගෙ වාස භුමි දැන් නැති ම වෙලා වගෙ ගිහිං. මේ බලාගාරයෙ භාවිතය ට ගෙන එන මහා පරිමාණ ගල් අඟුරු තොග තැම්පත් කරල තියෙන්නෙ ත් එළියෙ, විවෘත ව. ඒ, අඩියක් එකහමාරක් විතර ඝන බොරළු තීරුවක් මත. ඒ හරහා විවිධ රසායනික, පොළොව ට කාන්දු වෙනව. ඒ නිසාම ඒ ප්‍රදේශයෙ භූ ගත ජලය දැන් දුෂිත යි. අනිත් පැත්තෙන් මේ ගල් අඟුරු කඳු වලින් නිරන්තරයෙන් නැගෙන සිහින් දුහුවිලි සහ කුඩු සුළඟ සමග ප්‍රදේශය පුරා පැතිරෙනව. බලාගාරය අවට ගහ කොළ, විශේෂයෙන් පොල් වගාව දැන් අන්ත අසරණ වෙලා, ජන ජීවිතය ට මේ තත්වය මාරාන්තික වෙලා, ශ්වසන රෝග අවදානම එන්න එන්න වැඩි වෙනව.
ඒත් එක්කම, ගල් අඟුරු දහනයෙදි මුදා හැරෙන ‘සල්ෆර්’, අවට වා තලය අරක් අරගෙන. එය ‘නයිට්‍රිජන්’ සමඟ එකතු වෙලා අම්ල වැසි ඇති වෙන්න ත් ඉඩක් හැදෙනව. ඒ වගෙම ‘රස දිය’. රස දිය කියන්නෙ මොළේ සහ හෘද රෝග වලට බලපාන ද්‍රව්‍යයක්. ආසනික් – ලෙඩ්, කැඩ්මියම් සහ අධික විෂ සහිත බැර ලෝහ වෙනම. කාබන් මොනොක්සයිඩ් – හයිඩ්‍රෝ කාබන්ස් තවත් පැත්තකින්. බරපතළ ම කාරණයක් විදිහට මීතේන් මෝචනය වීමේ අවදානමකුත් මේ ගල් අඟුරු දහනයෙ තියෙන බව තහවුරු වෙනව.
එහෙම නං අපි තව දුරටත් ගල් අඟුරු ගැන හීන මවන්න හොඳ නැහැ, ආයෝජන සහ අනෙක් විය හියදම් අමතක කරල නොරොච්චෝලෙ ත් වහල දාන්නයි ඕනෙ – No more coal! තමයි. හැබැයි, ජනාධිපති – අගමැති එහෙම කියන්න ගත්ත එක නං සැක කටයුතුයි. හේතුව ඔවුන්ට එහෙම ‘මාර!’ කල්පනාවක් එන්න විදිහක් ම නැති එක. කොහොම වුණත් අපි, රටක් හැටියට වෙනස් විදිහක ට හිතන්න පටන් ගන්න ඕනෙ. ස්වභාව ධර්මයට එරෙහි හානි අවම කෙරෙන ජල, සුළං, සුර්ය බල උත්පාදන ක්‍රම ගැන අපි තව හිතන්න ඕනෙ.
ඒ සඳහා ලංකාවෙ ඉන්න දක්ෂ ඉංජිනේරුවන් සහ තවත් අදාළ වෘත්තිකයන් එකතු කරගෙන දීර්ඝ කාලීන සැලැස්ම ක් හදා ගන්න ඕනෙ, ආණ්ඩු වෙනස් වුණත් වෙනස් නොවන. අනෙක් රටවල් සමග ඊට අදාළ යම් ගනු දෙනුවක් කරනව නං, ඒ සියල්ල කෙරෙන්න ඕනෙ අන්න ඒ සැලැස්ම ට අනුකුලව.
තවත් වැදගත් කාරණයක්!.