ඔහු නැවත ත් මුණ ගැහුණා, සත්තයි!

2017 අගෝස්තු 4 වැනි දා දහවලේ, මමත් පෑලියගොඩ පාළම උඩ දි, SAITM විරෝධී පෙළපාළියට එකතුවලා ඉස්සරහට ඇවිදගෙන එන්න පටන් ගත්තා. මගෙ වම් පසින් ගියේ දුමින්ද නාගමුව.  ඔය අතරෙ, යම් මතකයක් සමඟ පෑහෙන මුහුණක් වරින් වර අප අතරින් මතු වෙවී මඟ හැරෙනවා දැක්කා.
ඔන්න! එකපාරටම මට ඔහු මතක් වුණා!
2001දි ‘රාවය’ පුවත් පතෙන් අයින් වෙලා, මම ‘නිදහස්’ පුවත්පත ආරම්භ කරමින්, TNL නාලිකාවට ත් වැඩ සටහන් කීපයක් නිෂ්පාදනය කොට ඉදිරිපත් කරමින් ඉන්න අතරෙ දවසක ඔහු මට මුණ ගැහුණා. 
රවින්ද්‍ර මුදලිගේ!
ඔහු එතකොට රුහුණෙ B. com ශිෂ්‍යයෙක්, ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්. TNL වැඩසටහනකට ඔහු, නලින්ද ජයතිස්ස සහ ඉඳුනිල් දීප්ති කුමාර එක්ක එකට ආවෙ. මගෙ මතකය හරි නං නුගේගොඩ, නාවල, ‘නිදහස්’ කාර්යාලයටත් ඔවුන් ආවා. එතකොට ඔවුන් වයස විසි තුනේ හතරෙ, ටිකක් ආඩම්බරකාර තරුණයො.
”මාව මතකද?”
මම රවින්ද්‍ර ට කිට්ටු කරලා ඇහුවා. ඔහු ඔළුවෙන් ‘ඔව්’ කියලා, ඈතින් ඈතින් අඩි තියන ගමන්, සෙනග අස්සෙන් හෙමින් හෙමින් කතා බහ කෙරුවා. 
”මම දැන් පෙරටුගාමි…ෆුල් ටයිම් පක්ෂය ට වැඩ…” ඔහු කිව්වා.
ඔහුගෙ මුහුණ දැන් ටිකක් වැඩිහිටි පාටයි, පොඩි බැරෑරුම් ගතියකුත් එහි සටහන් වෙලා තියෙනවා. ගමන් විලාශයෙත් යම් වගකීම්සහගත ගතියක් තිබුණා.
”ඒ කියන්නෙ, ඔහු තමන්ගෙ උසස් අධ්‍යාපනය අත හැරලා දේශපාලන කටයුතු කරනවා!”
මම මටම කොඳුර ගත්තා!
ගිනි මද්දහනෙ කාපට් පාරෙ අඩි ඉක්මන් කරන අතරෙ, මගෙ  මතකය හීතල හීන් රිදුමක් එක්ක, අවුරුදු පහළොවක් දහසයක් විතර ආපස්සට ඇවිදින්න පටන් ගත්තා. 
තාරුණ්‍ය!?
මෙහෙම කී දෙනක්, තම විශ්වාසය පමණක් කර ගහගෙන, තමන්වත් අතහැර, මහ පාරෙ කරක් ගහමින් තම දේශපාලන හීන දකිනවා ඇත්ද? මට එවැනි දන්නා හඳුනන මුහුණු එකින් එක මැවෙන්න පටන් ගත්තා. 
මට පුද්ගලිකව ඉතිහාස කතාවක් පමණක් වන 71 කාල තීරුව, හොඳට ම අත් වින්ද 88 — 89 කාල තීරුව! ඔන්න මතකය කම්පා වෙන්න පටන් ගන්නවා. එක පාරටම එදවස ඇස ගැසුණු ටයර් සෑයවල් මත පිච්චෙන තරුණ ජීවිත; ඒ කාලකන්ණි පුළුටු ගඳ! කොහේදෝ ඈතක සිට ඇදීගෙන එනවා වගෙ දැනෙන්නෙ ගත්තා.
උතුරු නැගෙනහිර යුද්ධයෙ අමිහිරි මතකයත්, ඒ අස්සෙන් හිස ඔසවනවා! වෙඩි හඬ! පිපිරෙන හඬ!
”අපි යන්නේ කොයි පාරේ”
තරුණ හඬවල්, ඒ අස්සෙන් එක රෑනට කෑ ගහනවා.
”නිෂ්මි බාලෙ ගිය පාරේ”
තවත් හඬවල් ප්‍රතිචාර දක්වනවා.
”අපි යන්නේ කොයි පාරේ”
”ත්‍රිමා වෙනුර ගිය පාරේ”
මරදානෙ ටෙක්නිකල් හන්දිය පහුකරන අතරෙ කොළඹ වා තලය දෙදරන්න ගන්නවා. දුමින්ද, මම සහ රවින්ද්‍ර එක ළඟ ළඟ අඩි මාරු කරනවා. අව්ව නිකං පරාජය බාර අරගෙන වගෙ, වැටෙන්නං වාලෙ වැටෙනවා.
මම දැන් රවින්ද්‍ර ළඟ නැවතිලා කල්පනා කරනවා!
ඔබ වැනි තරුණ තරුණියන් කොපමණ දෙනෙක් කොපමණ කාලයක් මෙහෙම මහ මඟ අතහැර යන්න ද? ඒක එහෙම වෙනකොට, අනෙක් වුන් මේ යන ගමන කුමක් ද? 
මම අනෙක් වුන් දෙස බලන්නෙමි, පුදුමයක තරම! අනෙක් වුන් කිසිවෙක් නැත. එහෙත් රවින්ද්‍ර මුදලිගේලා සිය දහස් ගණනින් අතීතය පුරා නොනැවතී ඉදිරියට ඇදෙන අයුරු දකිනවා.
අප මේ කරමින් සිටින්නේ කුමක් ද?
කොළඹ කොටුවට මළ හිරු වැටෙන විඩාබර හැන්දෑවෙ, මහා සෙනග අතරෙ, මම තවමත් තනියෙන් කල්පනා කරනවා!
මේ මොහොත නං මට කොහොමවත් මග හරින්න බැහැ!
ඔහු නැවතත් මුණ ගැහුණා! සත්තයි!
CHAPA