කළාපයෙන් මැඩම් කෙනෙක් ඇවිත්…

”මිස් මේ බලන්න! මේ ළමයගෙ උත්තරය සම්පූර්ණ නැහැ….ඒත් හරියක් දාලා!”
පන්ති භාර ගුරුවරිය දෙස නොරිස්සුම් බැල්මක් හෙළමින් ප්‍රාථමික අධ්‍යක්ෂවරිය කියන්න පටන් ගත්තා.
”මේ ළමයා ටිකක් දුර්වලයි…හෙමින් හෙමින් තමයි ගොඩ නැගෙන්නෙ…එතකොට….”
ගුරුවරිය කරුණු පැහැදිලි කරන්න ගත්තා.
”එහෙම බැහැ! මිස් තේරුම් ගන්න…මෙහෙම ළමයෙකුට පුළුවං ද ශිෂ්‍යත්වයට ලකුණු ගන්න…මං නිසා හොඳයි වෙන ඩිරෙක්ටර් කෙනෙක් ආව නං මිස්ට විරුද්ධව ලියුමකුත් ගහනවා, තේරුණාද?”
කළාපයෙන් පාසලේ ප්‍රාථමික අංශය අධීක්ෂණය කරන්න වරින් වර ආපු අධ්‍යක්ෂ වරු, ඒ රළු හඬ අතරින් ගුරුවරියට මතක් වුණා.
”මිස් උගන්වන විදිහ ඉතාම හොඳයි…මේ වගෙ උප සංස්කෘතියක් තියෙන පැත්තක දරුවො පාසල් එන එකම ඇති…නේද මිස්!” 
මීට පෙර පන්තියට ආපු කළාප අධ්‍යක්ෂවරිය තම පන්තිය තුළ දීර්ඝ වේලාවක් රැඳෙමින් කියපු කතාවක් ඇයට ඒ අස්සෙ මතක් වුණා.
”මේ සමහර දරුවො ඉන්නෙ ළමා නිවාස වල…එක්කො අම්මා තාත්තා දෙන්නම නැහැ…ඉන්නෙ ආච්චි කෙනෙක් එක්ක…සමහර ගෙවල් වල තාත්තා බීගෙන ඇවිත් රෑ තිස්සෙ කලබල කරනවා…මේ පුංචි ගැහැනු දරුවන්ගෙ ජීවිත කොහොමවත් සුරක්ෂිත නැහැ….මේ අවට සමාජ තත්ත්වය මැඩම් ට පේනවනෙ…හරිම කරදරකාර ජීවිත!”
” මං මේ ඒ ගැන තමයි හිතන්නෙ…අපි කළාප කාර්‍යයාලයෙ කාමරයක ඉඳගෙන විවිධ දේවල් හිත හිතා හිටියට කොළඹ වෙලත්, පොළොවෙ තත්ත්වය කොච්චර වෙනස්ද! නේද මිස්? ඇත්තටම අපට මිස්ලගෙන් ඉගෙන ගන්න හුඟාක් දේවල් තියෙනවා…මේ ඉතිං අපේ රටේ අනාගතයනෙ…”
ඒ අධ්‍යක්ෂවරිය කුඩා දරුවෙකුගෙ හිස අත ගා තමන්ට තුරුළු කර ගනිමින් කිව්ව හැටි ගුරුවරියට මතක් වුණා.
” මෙහෙම නං වැඩ කරල බහැ මිස්! බලන්න මේ ළමයගෙ අකුරු ඇදයි…මේ මේ…මේ අකුරු රූලෙන් පැනලා…ඒකටත් මිස් හරි දාලා….කිසිම අවධානයක් නැතුවනෙ වැඩ කරන්නෙ, එහෙම බැහැ! ගුරු වෘත්තිය කරනවා නං උනන්දුවෙන් කරන්න…මමත් ඉස්සර ගුරුවරියක් හැටියට වැඩ කෙරුවා….මිස්ට ඉන්නෙ ළමයි කී දෙනාද? ආ? මගෙ පන්තිවල හැම පාරම හතළිහ පැනලා…ඒ මේ වගෙ ඉස්කෝල නෙවෙයි…ලොකු ඉස්කෝල! තේරුණාද?”
අධ්‍යක්ෂවරියගෙ මුහුණ බැරෑරුම්!
”මං මේ කෙටි වෙලාවට තේරුම් ගත්තා,,,මිස් ළමයින්ට කොච්චර ආදරය කරනවද කියල….එයාලත් මිස්ට සලකන්නෙ අම්මා කෙනෙකුට, අක්කා කෙනෙකුට සලකනවා වගෙ…මිස් උගන්නනවා කියල හිතෙන්නෙ නැහැ, හරිම මෘදු අධ්‍යාපනික වැඩ පිළිවෙළක්…මට දුයිෂෙන් මතක් වුණා…”
එදා අර අධ්‍යක්ෂවරිය ආපු වෙලාවෙ පන්ති භාර ගුරුවරියට තුරුළු වුණු පන්තියෙ පුංචිම පුංචි ගැහැනු ළමයා දිහා ආදරයෙන් බලමින් කියපු කතාව!
”මේ තමයි මැඩම් මං කියපු අර දක්ෂ ගැහැනු ළමයා! මෙයා හරි ලස්සනට අකුරු ලියනවා, ගණන් හදන්නත් හරි හපනී…ආ! මේ තියෙන්නෙ එයාගෙ ලියන පොත…මේ බලන්න!”
අධ්‍යක්ෂවරිය සහ පුංචි ගැහැනු ළමයා ගුරුවරියත් එක්ක එකට, ඒ පොතට එබුණා. සමහර අකුරු අනිත් පැත්තට ලියලා. සමහර අකුරු බෝල පෙට්ටි සහ ඉරි කෑලි එකතු කරල හදපු අමුතු රූප වගෙ. 
”ම්ම්ම්ම්….හරිම දක්ෂ ළමයෙක්නෙ…මේ දුව ලොකු වෙලා කවුද වෙන්න හිතාගෙන ඉන්නෙ?”
”ටීචර් කෙනෙක්…”
දැරියගෙ හුරතල් හඬ ගුරුවරියගෙ හිත අස්සෙ ගුළි වුණා.
”අපි ගුරුවරු වුණාම ළමයින්ගෙ වැරදි වැරදි විදිහට පෙන්නන්න ඕන…වැරදි දේවල් හරියි කියන්න එපා! තේරුණාද?”
”ඒ වුණාට වඩා වැදගත් වෙන්නෙ දරුවන්ගෙ හිත හදන එක,,,දරුවන්ගෙ පෞර්ෂය වර්ධනය කරන එක…මේ වගෙ අඩු පහසුකම් තියෙන සහ උප සංස්කෘතික වට පිටාවක් තියෙන පැත්තක දරුවො පාසල් ගෙන්නවා ගන්න එකම ලොකු වැඩක් මිස්…”
ඒ අර එදා ආපු කළාප ප්‍රාථමික අධ්‍යක්ෂවරිය.
”,,,.දරුවො තේරුම් ගන්න එක තමයි වැදගත්, එයාලට ඕන ආදරය, රැකවරණය… අධ්‍යාපනය සාර්ථක වෙන්නෙ එතකොට තමයි…අකුරු ඉලක්කම් උගන්වන එක එතකොට ඉබේම සිද්ධ වෙනවා…” 
ඒ ගුරුවරිය!
”මිස් මීට පස්සෙ වගකීමෙන් වැඩ කරන්න ඕන…මං සෙක්ෂනල් හෙඩ්ටත් උපදෙස් දෙනවා මිස් ගැන ටිකක් බලන්න කියල…”
රළු මුහුණ පන්තිය වටා කරකවමින් අධ්‍යක්ෂවරිය ආපහු යන්න නැගිට්ටා,
”මං ගැන?”
ගුරුවරිය ඇහුවා.
”මිස් ගැන මං දන්නවා…මේ අපේ මිස්…”
ගුරුවරියට ඇහුනෙ එදා ආපු අර අධ්‍යක්ෂවරියගෙ හඬ. ඒත් ඒ හඬ කතාවක් විදිහට සටහන් වෙලා තිබුණෙ අර ඇයට තුරුළු වෙලා ඉන්න දැරියගෙ ඇස් දෙකේ.
මොකද, අර ඇයට මතක් වන අධ්‍යක්ෂවරිය කවදාවත් ඒ ඉස්කෝලෙට ආවෙ නැහැ!
CHAPA 
July 3, 2019




Leave a Reply

Your email address will not be published. Required fields are marked *