ගමේ වින්කලේ!

බත්තරමුල්ල පැත්තෙන් එනකොට මාලබේ නගරය ට පෙර හම්බ වෙන තලාහේන හංදිය ට වමෙන් වැටෙන අතුරු පාරෙ ළඟම තියෙන හංදියෙ තමයි මේ ‘වින්කලය’ දකින්න ලැබෙන්නෙ.වින්කලය කියන පදය කොහොම ආවත් ඒ නම කියනකොටම ගම්වල මිනිස්සු දන්නවා ඒ මොකද්ද කියල.පා පැදි හෙවත් පුස් ( පුෂ් ? ) බයිසිකල් හදන තැන තමයි වින්කල් එක! වින්කලය!ගම්වල විතරක් නෙවෙයි නගර අවටත් තැන් තැන් වල තියෙන මෙහෙම තැන් වලට සෑහෙන ඉල්ලුමක් තියෙනවා. වැඩ ත් ඕන තරං. පා පැදිය කියන්නෙ, දුප්පතා ගෙ හිතවතා! කියලනෙ ජන වහරට පුරුදු. ඔව්! මේ වෙනම සමාජ තීරුවකට අදාළ කතාවක්. ඒත් පොදු කතාවක්,ළගදි දවසක් මං මගෙ පා පැදිය ‘සර්විස්’ කර ගන්න තලාහේනෙ මේ තැන ට  ආවා. මං නමින් දන්නෙ නැති මේ ශිල්පියා, ඒ කියන්නෙ වින්කලේ හිමිකරු, ඉතා ම දක්ෂ විදිහට තමන්ගෙ රාජකාරිය කරගෙන යන හැටි මං උනන්දුවෙන් බලාගෙන හිටියා. ඔහු ඇත්තටම ”බයිසිකල් ලවර්” කෙනෙක්.ඒ කියන්නෙ පා පැදි ආදරවන්තයෙක්!විවිධ වයස්වල පිරිමි, ළමයි, අම්මලා තාත්තලා එක්ක බබාලා මෙතැනට එනවා තම තමන්ගෙ බයිසිකල් හදා ගන්න, සර්විස් කර ගන්න. මේ ශිල්පියා ඉතා සීරුවට සහ වගකීමෙන් ඒ ඒ ප්‍රශ්න විසඳන හැටි මං සෑහෙන වෙලා බලාගෙන හිටියා. ළමයින් ට සහ බබාලාට ඔහු මැජික් කාරයෙක් වගෙ. ඇයි මේ ටිකකට කලින් ලෙඩ වෙලා තිබ්බ පුංචි බයිසිකල් යාළුවා ට දැන් හොඳටම හොඳයිනෙ, එකයි!ඒ අස්සෙ, එතැනින් යන එන ත්‍රී රෝද රථ, යතුරු පැදි, අත් ට්‍රැක්ටර්ස් සහ පුංචි ලොරි එහෙමත් පැච් එකක් දා ගන්න, ඇණයක් තද කර ගන්න හෝ වෙන මොකක් හරි පොඩි වැඩක් කරගන්න මෙතැන ට එන්න පුරුදු වෙලා. ඒ කවුරු කවුරුත් වැඩි කතා බහ නැහැ, පුරුද්ද ට වගෙ වැඩ ටික ඉක්මනට කෙරෙනවා.  ඒ කියන්නෙ බහු කාර්‍යයන් සාර්ථකව කරන ”අපේ ගමේ ශිල්පියෙක්”!ඔන්න ගෙදරක හදන කෑම මොනවා හරි අරගෙන වෙළඳාමෙ යන මැදි වයසෙ කාන්තාවක් එනවා. ම්ම්ම්…ඔහු ඇයගෙන් කෑමට යමක් මිලදී ගන්නවා. එතකොටම අසනීප පෙනුමක් තියෙන වියපත් පුද්ගලයෙක් වින්කලය ඉස්සරහ හිටගත්තා, අපේ කතා නායකයා උඩ සාක්කුවෙන් ඇදල ගත්තු  මුදල් නෝට්ටුවක් ඔහුගෙ අත තියලා ආයෙත් වැඩ ට බැස්සා. අර අසරණ පුද්ගලයා වින්කලය ට කෘත ගුණ බැල්මක් දාලා හෙමින් හෙමින් යන්න ගියා. මේ සිද්ධි වෙනදටත් මෙහෙම ම වෙනවා ඇති! මට හිතෙනවා.”අයියා! මේ අර සල්ලි…ඊයෙ මට දීලා යන්න බැරි වුණා…”තවත් පුද්ගලයෙක් හති දාගෙන ඇවිත් එතකොට ම වගෙ මේ ශිල්පියාට පරණ ගනු දෙනුවක් බේරනව. ”වැඩේ හරි නෙ, ආයෙ අවුලක් වුණේ නෑනෙ?”  ශිල්පියා මද සිනහවකින් ඔහු ට සමු දෙනවා.එක එක මිනිස්සු, එක එක සිදුවීම්, එක එක ගනු දෙනු, වෙනස් මානව සම්බන්ධතා, පොදු මුදල් සංසරණය…මේ එතකොට එක විදිහක ගමේ මෙහෙයුම් මධ්‍යස්ථානයක්!සුළු පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයන් මේ විදිහට කොච්චර ලොකු වැඩ කොටසක් රට වටේ කරමින් ඉන්නවාද?! මං හිතන්න පටන් ගන්නවා.මෙගා පොලිස් දවල් හීන අස්සෙ අප ට මග හැරෙන, මහ පොළොවෙ මේ යථාර්ථය ලාංකිකයන් හැටියට අපට මෙහෙම අමතක කරන්න පුළුවං ද? මේ වැඩකරන අපේ ම මිනිස්සු රටේ පොදු සමාජ දේහය පවත්වාගෙන යන්න කරන කාර්‍යභාරය නිවැරදිව තක්සේරු කර ගන්න, පාලකයන් සමත් නං මේ ශිල්පීය ශ්‍රම බලකාය ආරක්ෂා කරගනිමින් පෝෂණය කරන්න, මොන තරං නං දේවල් පහසුවෙන් කරන්න පුළුවං ද? කරන්න ඕන ද?කෝ මේ ග්‍රාම සේවකලා? කෝ මේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යයාල නිලධාරීන්? කෝ මේ අර නිලධාරීන් – මේ නිලධාරීන්? අහ්! ප්‍රාදේශීය සභා සෙට් එක! කෝ? පළාත් සභා ඡ්න්ද නැති එකමයි කාරිය! ගම පවත්වාගෙන යන්නෙ මෙහෙම වැඩ කරන සමාජ තීරුව, ඒ මදිවට අර කමකට නැති නිලධාරි රොත්ත බුරුත්ත නඩත්තු කරන්න වෙන්නෙත් මේ පොදු ශ්‍රම බලකායටමයි. පුදුම සමාජයක්!අපි යන මේ පාර වැරදියි! මං කල්පනා කරනවා.”මහත්තයා, වැඩේ හරි! මොනව හරි තිබුණොත් ආයෙ ගේන්න…ටක් ගාලා කරල දෙන්නං!”අපේ කතා නායකයා එහෙම කියනකොට මං ඒ මූණට එබුණා.”අපේ බොරු නෑ මහත්තයා!”ඒ, එවිට ඔහු නොකියූ සහ මට ඇහුණු කතාව!CHAPAFeb 7, 2019




Leave a Reply

Your email address will not be published. Required fields are marked *