ටෙනී අද අපෙන් සමු ගත්තා! කියලත් මේ සටහන පටන් ගන්න පුළුවං, ඒත් මං කැමතියි, ටෙනී මට මුණ ගැහුණා! කියල, ලියන්න පටන් ගන්න!
ඔව්! ඒ, 2003 වගෙ ඇත කාලයක්. නාවල ‘නිදහස්’ කාර්යයාලය පවත්වාගෙන යන අතරෙ, අපි රටේ තැන තැන ‘නිදහස්’ සංවාද ගොඩ නගමින් වීදි ජීවිතයක් ගත කරමින් හිටියෙ. ජනප්‍රිය සහ ප්‍රසිද්ධ විවිධ පුද්ගලයින් මුණ ගැහෙන්නත් අපි ඒ අතරෙ කාලය වැය කෙරුවා.
ටෙනී මුණ ගැහෙන්න, දවසක ඔහුගෙ මොරටු ගෙදරට ගියෙ එහෙමයි..
”ඔයාලා මගෙ ගෙදරටම ආපු එක මට විශාල සතුටක්, ආඩම්බරයක්!”
ටෙනී එහෙම කිව්වෙ විහිළුවට නෙවෙයි, පුදුමයකට වගෙ ඔහු ‘නිදහස්’ ක්‍රියාකාරකම් ගැන යම් පමණකට හෝ ඒ මොහොතෙ දැනගෙන හිටියා. විශේෂයෙන්ම ජලය විකිණීමට එරෙහිව අපි ආරම්භ කරල තිබුණු අරගලය ගැන ඔහු උනන්දුවෙන් යම් යම් දේවල් අහන්න ගත්තා. මං ඇත්තටම, එහෙම මට්ටමක් ඔහුගෙන් බලාපොරොත්තු වුණේ නැහැ, ඉතිං හිතට අමුතු සතුටක් ඇති වුණා.
”අපි යමු උඩට, ටිකක් නිදහසේ කතා කරන්න!”
ටෙනී, නිවසට යාබද පටු උඩ තට්ටුවකට මාව කැඳවාගෙන යන ගමන් කිව්වා.
ඔව්! එය සොඳුරු පිළිසඳරක්!
අපි විවිධ මාතෘකා ගැන කතා කෙරුවා, මට හොඳට මතකයි ඔහු ඉතාම සැලකිල්ලෙන් එදවස සක්‍රීයව පැවති X කණ්ඩායම ගැනත් මගෙන් ඇහුවා. ටෙනී කියල හැම දෙනාම දන්න ජනකාන්ත විහිළුකාරයා ඇතුළෙ තවත් දේශපාලනික ගොඩ නැගීමක් තියෙනවා කියල, ඒ පැයකට එහා මෙහා කාලය තුළ මං තේරුම් ගනිමින් හිටියෙ.
ඔහු තමන්ගෙ බිරිඳට සහ පවුලට ඉතාම ආදරයෙන් සලකන බලාපොරොත්තු පිරුණු පවුල් කාරයෙක් වගත් මට ඒ මොහොතෙ දැනුණා, ඒ වගේම, ආගන්තුක සත්කාර ගැන ඉතාම ආදරණීය විදිහට කල්පනා කරන සුහදශීලි පුද්ගලයෙක්, ටෙනී!
”අපි එහෙම නං යනවා…සොඳුරු මුණ ගැහීමක්!”
අපි ( මාත් එක්ක තවත් නිදහස් සගයෙක් හිටියා, සුමේද ජයවර්ධන වෙන්න ඕන!) සමුගන්න අතරෙ, මං ඔහුගෙ අතගෙන කිව්වා.
”මං මගේ නාට්‍ය වලින් ලැබෙන මුදලින් යම් මුදලක් නිදහස් පත්තරයට වෙන් කරන්න ආසයි…!
ටෙනී අන්තිම මොහොතෙ හැඟුම් බරව කිව්වා.
”එහෙම හදිසි වෙන්න එපා, අපි බලමු…! අපට ඕන ශක්තිමත් මිනිස්සු එක්ක වැඩ බිමක් හදා ගන්න, සල්ලි එකම ප්රශ්නය නෙවෙයි, අපි දිගටම මේ සංවාදයෙ ඉම්මුකො…!”
මගේ ඒ ප්‍රතිචාරයට ඔහු උණුසුම් බැල්මක් දැම්මා මතකයි.
ඒත් විවිධ ප්‍රායෝගික ප්‍රශ්න නිසා ආයෙම කතා බහ කරන්න අපට බැරි වුණා, අවුරුද්දක සාමාජික ගාස්තුව ගෙවලා ඔහු ගෙදරට නිදහස් පුවත් පත තැපෑලෙන් ගෙන්නවා ගන්න එකඟ වුණු නිසා, ඒ කාලය තුළ පත්තරේ නං කියවන්න ඇති.
කාලය ඉතිං වේගයෙක් ගෙවිලා ගියා!
ඔන්න දැන් 2019 අන්තිම හරිය!
”ඔබ තුමාගෙ හඬ ඇහෙනකොට මට මාර සතුටුයි…ඔයා ඉන්න ටීවී වැඩසටහන් එහෙම දැක්කොත් අනිවාර්යයෙන්ම බලනවා…ඉතිං ඉතිං…! මාර කාලයක්නෙ අපි හම්බු වෙලා නේද!, අවුරුදු කීයකට පස්සෙද අපි මේ ආයෙ කතා කරන්නෙ, මදෑ! ‘ ඔහුගෙ ජංගම දුරකථන අංකය ආයෙම හොයාගෙන ඔහුට කතා කරනකොට ඔන්න ඔහු මට කියපු දේ,
”දැන් නිදහස් පත්තරේ නැද්ද?”
ඔහු, නිදහස් ක්‍රියාකාරකම් ගැන විස්තර අහන්න පටන් ගත්තා. නිදහස් YouTube ක්‍රියාකාරකම් ගැනත් ඔහුට යම් පැහැදිලි අදහසක් තිබුණා.
”මට වෙලාවක් හම්බු වෙච්ච ගමන් ඔයාගෙ වැඩසටහන් බලනවා…”
”සතුටුයි එ ගැන! හරි, අපි දෙන්නා හොඳ YouTube සංවාදයක් කරමු! හැබැයි ටෙනී අර සමහර විනෝදාත්මක වැඩ සටහන් වලදි දෙපැත්ත කැපෙන කෑලි කියන එකට නං මං විරුද්ධයි, ඊට වඩා යමක් ඔයාට කරන්න පුළුවං, ඔයාගෙ ඇඟේ ප්‍රහසනය කොහොමත් තියෙනවා,…!”
” හරි අපි ඒ ගැන කතා කරමුකො! ඔයාගෙ අදහස්වලට මං ගරු කරනවා, මාත් ආසයි ඔයත් එක්ක එහෙම සාකච්ඡාවක් කරන්න, මං එදාට ඔයාලා ඔක්කොටම කන්න අරගෙනම එන්නං…!”
තමන් වෘත්තීය මට්ටමෙන් ගනු දෙනු කරද්දි හැසිරෙන ආකාරයත්, මා සමග සහ නිදහස් අවකාශය තුළ වැඩ කරන්න කැමති ආකාරයත් ඔහු මට අපූරුවට පැහැදිලි කෙරුවා.
”ඔයා ඔය කරන වැඩේ මාර වැඩක්…අපටත් හිතන්න දේවල් තමයි ඔයා කියන්නෙ, අර ඔයාගෙ නිදහස් පත්තරේ තේමාව, විකුණන්නෙත් නැති විකිණෙන්නෙත් නැති පත්තරේ! මං ඒකට මාර කැමතියි, ඔයා නිතරම කියන විදිහට ඕනම වෙලාවක අපට යන්න වෙනවා, නේද? ඉන්න කල් කරන දෙයක් තමයි…! ඇත්ත!”
ඔහුගෙ හඬ සැහැල්ලුයි.
”ටෙනී හිතන විදිහ හොඳයි…!”
මං කිව්වා.
”අපි අනිවාර්යයෙන්ම මුණ ගැහෙමු
ඒ ටෙනී.
ඒත් අපට මුණ ගැහෙන්න බැරි වුණා, ම්ම්ම්ම්…නැහැ, අපි මුණ ගැහුණා!
ඔව්, මට ටෙනී මුණ ගැහුණා!
CHAPA
Oct 1, 2020