ටෙනී මුණ ගැහුණා! ඒත් බන්දු නං මුණ ගැහුණෙ නෑ! කියලම ඕන නං මේ සටහන පටන් ගන්න පුළුවං, ඊයෙ ටෙනී ගැන ලියන්න ගත්තු නිසා, ම්ම්ම්….!

ටෙනී මුණ ගැහුණා! ඒත් බන්දු නං මුණ ගැහුණෙ නෑ! කියලම ඕන නං මේ සටහන පටන් ගන්න පුළුවං, ඊයෙ ටෙනී ගැන ලියන්න ගත්තු නිසා, ම්ම්ම්….!
අපි ලියාගෙන යද්දි බලමු!
ඔය ටෙනී මුණ ගැහෙන්න ගිය දවසට එහා මෙහා කිට්ටු දවසක අපි ‘නිදහස්’ කණ්ඩායම ම බන්දු සමරසිංහ මුණ ගැහෙන්න ඔහුගෙ ගෙදරටත් ගියා, මට මතක මහරගම අවට කොහේ හරි වෙන්න ඕන ( හරියටම පැත්ත මතක නෑ! )
ඒ, අපි ‘නිදහස්’ සමාජගත කරමින් වීදි බැස්ස තවත් දවසක්.
”ඔව්! මොකද්ද අපෙන් කෙරෙන්න ඕන?”
බන්දු ටෙනී වගෙ නෙවෙයි කෙළින් මනුස්සයා, මූණටම දමල මුල්ම ප්‍රශ්නය ඇහුවා.
”අපේ මේ අරගලය වඩා යහපත් සමාජයක් වෙනුවෙන්…”
මං කතාව පට ගත්තා, බන්දුගෙ මූණෙ විහිළු පාටක් ගෑවිලාවත් නෑ, ෆුල් සීරියස්. මටම පුදුමයි! මේ මිනිස්සු රඟපෑම් තුළ අපි දකිනවාට වඩා කොච්චර වෙනස්ද? මට එහෙමත් හිතුණා.
”මං දන්නවා ඔය වැඩේ කොච්චර අමාරුද කොච්චර වැදගත්ද කියලා…මට අමුතුවෙන් කියන්න ඕන නෑ! ඔබ තුමා කියන විදිහටම, අපි මේ රටේ මාධ්‍ය සංස්කෘතිය වෙනස් කරන්න ඕන තමයි, ආයෙ ඒකෙ දෙකක් නෑ!”
”ඒත් මිනිස්සු කැමති ජනප්‍රිය මාධ්‍ය සංස් කෘතියට, ඒකනෙ වැඩේ..!”
ඒ මං.
”ඉල්ලුමට සැපයුම…!”
ඒ බන්දු,
”ම්ම්ම්…! හොඳ අවබෝධයක් තියෙන මිනිහෙක් බන්දු! මාරයි!”
මං තනියෙනුත් කතාව, ඇයි ඉතිං වෙනස් අත්දැකීමක්නෙ.
”විකුණන්නෙත් නැති, විකිණෙන්නෙත් නැති පත්තරේ! නියමයි, ඒක නං ෂෝක් තීම් එක…!
බන්දු පත්තරේ පිටු අතර ඇස් නටවමින් හයියෙන් කිව්වා.
”මොකද්ද අපෙන් කෙරෙන්න ඕන…?ඕන උදව්වක්…!කියන්න!”
බන්දුගෙ හඬ විශ්වාසනීයයි.
”ඉස්සර වෙලා පත්තරේ ටික කාලයක් කියවන්න…!අවුරුද්දක මෙම්බර්ෂිප් එකක් ගන්නකො…තැපෑලෙන් ගෙදරට පත්තරේ එනවා..අපි සංවාදයක් වෙමු! බන්දුලා වගෙ කලාකරුවො එක්ක කරන්න හුඟාක් දේවල් තියෙනවා, ප්‍රහසනය හොඳ අවියක්! මේ දුර්වල සමාජය බල ගන්වන්න, අපි එකතු වෙන්න ඕන!”
”මං ලෑස්තියි!”
බන්දුගෙ සෘජු පිළිතුරු!
”පත්තරේ මාසෙකට එකයි, රුපියල් විස්සයි, ඇත්තම කතාව අපි පත්තර එච්චර ගහන්නෙ නැති නිසා හුඟාක් මාසවල එකක කොස්ට් එක විසිපහ විසි හය වගෙ වෙනවා, ඒත් අපි මේ අරගලය වෙනුවෙන් ඒ දැරීම කරනවා…තැපැල් ගාස්තුවත් අපෙන්, විස්ස වැඩි කිරීම දොළහ..දෙසිය හතළිහයි…!
අපේ කෙනෙක් එහෙම කියන ගමන් රිසිට් එකක් ලියන්න ගත්තා.
”එහෙම නෙවෙයි, ඔය මෙම්බර්ෂිප් වැඩක් නෑ, මං මෙහෙම කරන්නං…ම්ම්ම්…”
බන්දු ඇහි බැම රැළි කෙරුවා.
”නිදහස්” පත්තරේ කරගෙන යන්න අවශ්‍ය සම්පූර්ණ වියදම මාසිකව ලැබෙන්න සලස්වන්න මට පුළුවං, කිසිම කොන්දේසියක් නැතුව, ඔව්…!”
මොනවා!?
අපේ කට්ටියගෙ මුහුණුවල මතු වුණු විශ්මය, තනි වචනයකින් ගත්තොත් එහෙමයි, මං උඩ ගිහිං බිම වැටුණා වගෙ, බන්දුගෙ විහිළුවක් වත් ද? ඒත් ඒ මුහුණෙ බැරෑරුම්කම මගේ හිතේ සැකය දුරු කෙරුවා.
”ඒ කියන්නෙ?”
මං අමාරුවෙන් වචන ගොනු කෙරුවා, ‘නිදහස්” වෙනුවෙන් අපි කණ්ඩායමක් විදිහට කරමින් හිටපු විවිධ දැරීම්, කන කට්ට මතකයට ඇවිත් හිත සැනසීමෙන් රිදුම් කන්න වගෙත් ගත්තා.
”මං හෙට හැන්ඳෑවෙ හරියටම කියන්නං කෙරෙන විදිහ…හරි! මට දෙන්නකො ඔයාලගෙ ෆෝන් නම්බර් එක!”
කිසිවක් හිතා ගන්න බැරුව, අපේ දුර කථන අංකය විතරක් ඔහු අත තියලා, අපි එන්න ආවා, අපේ කණ්ඩායම ම පාවෙන්න අරං වගෙ, කවදාවත් අත් නොවිඳි සැහැල්ලුවක්!
”මං නිතරම කියනවනෙ මේ අරගලය සාර්ථක වෙනවා කියලා…දැක්කද?”
අපේ කට්ටියට මං එහෙම කිය කියා ආවද, එහෙම හිත හිතා ආවද මන්දා
”ඉතිං ඉතිං? ඊට පස්සෙ? බන්දු මොකද්ද පහු වෙනිදා කතා කරල කිව්වෙ?!”
ඔන්න දැන් ඔබේ කුතුහලය ඇවිස්සිලා, ටිකක් ඉවසන්න!
මෙහෙමයි, අපි පහු වෙනිදා ඒ කියපු වෙලාවට බලං හිටියා, ඔහු කතා කෙරුවෙ නැහැ, අපි දීපු ටෙලිෆෝන් අංකය වැරදිවත් ද? කෙනෙක් කියනවා, ඉතිං අපි දීපු පත්තරෙත් තියෙන්නෙ ඒ අංකය නං! ඒ තව කෙනෙක්. අපේ උණුසුම් කතා බහ දිගටම. නිදහස් කාර්‍යයාලයම නිකං නොසන්සුන් වෙලා වගෙ. කොහොම හරි පැයක් දෙකක් බලං ඉඳලා, මං බන්දුගෙ ගෙදර දුරකථනයට ඇමතුමක් ගත්තා, ප්‍රතිචාර නැහැ, ආයෙ ගත්තා, ඒත් නැහැ, ආයෙම, ආයෙම…ඒත් නැහැ!
”ඊට පස්සෙ?”
ඔබට දැන ගන්නම ඔනද?
ම්ම්ම්…! අපි දිගටම ඔහු සම්බන්ධ කර ගන්න උත්සහ කෙරුවා…! ඒත්…! ඔහු හෙලෝ හෙලෝ කියල කෝල්ස් කට් කෙරුවා..”
”ඊට පස්සෙ?”
ඔබ ආයෙත් ඔය ප්‍රශ්නය අහනවද? එච්චරයි!
”ඒ කියන්නෙ…?”
අපේ සමහරු කිව්වෙ අර මෙම්බර්ෂිප් එක ගන්න වෙන නිසා බන්දු ඔහොම බොරුවක් කෙරුවා කියල, ඒත් මං නං හිතන්නෙ ඔය බන්දුගෙ විහිළුවක්…!
”ඒ කියන්නෙ ඔබට බන්දු මුණ ගැහුණා?”
ඔව්! ටෙනී වගේම බන්දුත් මුණ ගැහුණා, මොකෝ නැත්තෙ!?
CHAPA
Oct 2, 2020”