අර්ජුන රණතුංගලාගෙ මහ ගෙදර පිහිටා තියෙන්නෙ, කොළඹ, මරදානෙ, ස්ටොක් වත්තෙ – අසෝක විද්‍යාලයට යාබදව.
ඒ 2000 මාර්තු!
අර විද්‍යාල භුමියෙ ක්‍රීඩා කරමින් හිටපු ළමයි අතින් අරජුනලාගෙ මිදුලට පන්දුවක් වැටුණ සිද්ධියක් මුල් කරගෙන ගැටුමක් ඇති වුණා. අර්ජුනලාගෙ මව තමයි මුලින්ම සිද්ධියට සම්බන්ධ වෙන්නෙ, ඊට පස්සෙ ඇය, අර්ජුන – ප්‍රසන්න පුත්‍රයන් සහයට ගෙන්වනවා. ඔවුන් අර ශිෂ්‍යන්ට පහර දෙනවා. ශිෂ්‍යයන් කීප දෙනෙකුටම තුවාල වෙනවා. ඒ වෙලාවෙ අර්ජුන හෝ ප්‍රසන්න අතැති පිස්තෝල බඳෙන් එක ශිෂ්‍යයෙකුගෙ හිසට බරපතළ පහරක් වැදෙනවා. තුවාල වූ ශිෂ්‍යයා රෝහලට ඇතුළත් කෙරුණු අතරෙ, මේ සිද්ධිය ගැන මාධ්‍ය ඔස්සෙ කරුණු වාර්තා වෙන්න පටන් ගන්නවා.
ඒ වෙනකොට ‘රාවය’ ට වැඩකරමින් සහ ‘නිදහස්’ සැලසුම් කරමින් හිටිය මමත් කෙලින්ම ඔය සිදුවීම විග්‍රහ කරමින් රණතුංගලාගෙ මැර බලයට එරෙහිව හිටගත්තා. අසෝක විද්‍යාලයෙ ශිෂ්‍යයන්, දෙමාපියන් සහ ආදී ශිෂ්‍යයන් සංවිධානය කරපු විරෝධතා සහ රැස්වීම් වලටත් කෙලින්ම සම්බන්ධ වුණා. රණතුංගලාගෙන් පහර කෑ අර ශිෂ්‍යයා සෑහෙන කාලයක් රෝහලේ නේවාසික ප්‍රතිකාර ගත්තත් නිට්ටාවට සුව වුණේ නැහැ. ඔහුගෙ මොළය කම්පනය වීමේ බරපතළ අයහපත් ප්‍රතිඵල ලැබෙමින් තිබුණා, ඒ වන විටත් ඔහුගෙ අධ්‍යාපනය කඩා කප්පල් වෙලා තිබුණෙ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙනවා කෙරෙනවා කිව්වට කිසිම සාධාරණ සහ විධිමත් යමක් සිද්ධවුණේ නැහැ. චන්ද්‍රිකා හෙවණැල්ල යට අර්ජුනලාට කොහොමත් ආරක්ෂාව තිබුණා.
හුඟ දෙනෙක් ඒ මොහොතෙ, අර්ජුනලාගේ මැරබලයට එරෙහිව සහ අගතියට පත් ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී හිටියා. මමත් පුළුවන් හැම විදිහටම ඒ බලවත් සමාජ අසාධාරණයට විරුද්ධව සටන් කෙරුවා.
එක දවසක් ඒ ශිෂ්‍යයාගේ තාත්තා නුගේගොඩ, නාවල, ‘නිදහස්’ කාර්යාලයට ආවා, මාව හොයාගෙන. ඔහු දිග විස්තරයක් කෙරුවා. සාරාංශය, ”ආයෙ ඒ සිධිය ගැනවත්, මගෙ පුතා ගැනවත් ලියන්න එපා!” කියන එක. එය, ඉල්ලීමක් ද, යෝජනාවක් ද, තර්ජනයක් ද?…මම තවම තේරුම් ගන්න උත්සහ කරනවා. ඒ අතරෙ, රණතුංගලාගෙ පිස්තෝල බඳෙන් පහර වැදී, මොළයට බලපෑමක් සිද්ධවුණු අර ශිෂ්‍යයාට මොකද්ද වුණේ කියලා ඉඳ හිට කල්පනා වෙනවා!
CHAPA