2018-02-19
ඒ, 2007 මැයි මාසය, ‘ජල රකුසන්ට එරෙහිව!’ පොත ප්‍රකාශයට පත් කරපු මම ඔන්න, පොත සමාජගත කරන්න එහෙ මෙහෙ කරක් ගහන්න පටන් ගත්ත, දන්න නොදන්න විවිධ මිනිස්සු හොයාගෙන ලඟට ගිහිං විස්තර කිය කියා පොත් දෙන්න උත්සහ කරනව, අරගලය විධිමත් කරන්න යෝජනා කරනව, සමහරු ලොකු උනන්දුවකින් පොත ගන්නව, ඒ සමහරු උදව්වට පිටපත් කීපයක්. සමහරු මගෙ වදේට ගන්නව. සමහරු බිම බලා ගන්නව, කළකිරීමෙන් වගෙ කතා කරල මග අරිනව.
දවසක්, මම හොඳට දන්න ව්‍යාපාරික මිත්‍රයෙක් හම්බවෙන්න ගියා තැනකට. ඔහු අපේ ‘නිදහස්’ ක්‍රියාකාරකම් ගැන සෑහෙන්න දන්න, අවශ්‍ය වෙලාවක කරදරය නිසා හරි පොඩි පොඩි උදව් එහෙමත් කරන කෙනෙක්. අපි ඒ වෙනකොට ක්‍රියාවට නංවමින් හිටපු ජල සටන ගැනත් ඔහු හොඳටම දන්නව.
‘වැඩේ හොඳයි!’
ඔහු පොතේ පිටු පෙරළමින් කියන්න ගත්ත.
‘මිනිස්සුන්ට තවම මේ විනාශය ගැන තේරෙන්නෙ නැහැ!’
‘ඒක නං ඇත්ත…’ ඔහුගෙ ඇස්, පොතේ එක හරියක නැවතිලා, මුණටත් එක බැරෑරුම් ගතියක් ආව.
‘ඒ කියන්නෙ මේක වුණොත් අපේ ළිං වලටත් මීටර් හයි කරනව…මාර වැඩක්නෙ!’
‘ අනිවාර්යයෙන්ම! ළිඳ ඔයාගෙ, ඒත් වතුර ඔයාට අයිති නැහැ…වතුරට ඒකක මිළක්, හරියට තෙල් වලට වගෙ…’ ඔහුගෙ හැසිරීම මාව උනන්දු කරවන නිසාම මම කියාගෙන යනව.
‘ඒ කියන්නෙ ළිං විකුණන්නත් පුළුවං…මාර කෙළියක්නෙ!’
‘ඔව්! මේ මොහොතෙ ජීවත් වෙන මිනිස්සු හැටියට අපි මේ වෙළෙඳ කුමන්ත්‍රණයට විරුද්ධව සටන් කරන්න ඕන…’
‘ඒක හරි…’ ඔහු පොතකට සල්ලි දෙන ගමන් තිර හඬකින් කිව්ව. මම හිත යටින් සෑහෙන්න සතුටු වුණා, ඔහු සාමාන්‍යයෙන් තමන් ගැනම හිතන – ලාභය ජීවිතය කරගත්ත ව්‍යාපාරිකයෙක්.
‘සමහර මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමී වුණත්…එක වෙලාවක යථාර්ථය වටහ ගන්නව, පිළිගන්නව!’ මම මටම කියාගත්ත.
‘මිනිහා එහෙම කිව්වා !’
ඒ ප්රශ්නය වෙන දවසක, අර මිත්‍රයාගෙ සමීප ඥාතියෙකුගෙන්!
‘ඔව්! මිනිහ මගෙ කතාව අහල වෙනස් වුණා..අනික පොතෙත් සෑහෙන්න විස්තර කරල තියෙනවනෙ…ඒක එයාගෙ හිතට වැදුණ…’
මගෙ හඬේ තිබුණු තෘප්තිය මටම ආපිට දැනුණ.
‘බම්බුව! අන්න මිනිහ මහ ගෙදර ලිඳ විකුණගන්න විදිහක් හොයනව..’
‘ඈ!’
CHAPA
November 16, 2016

Previous Postජනමාධ්‍ය කියන්නෙ වෙළෙඳපොළ ප්රකාශනය!
Next Postහදිසි අනතුරක් ද? සැලසුම්සහගත කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ද?