දැන් කවුද එතකොට…

පහු ගිය දවසක, උදේ පාන්දර ම මම, අපේ ගෙදර පිටිපස්සෙ දොර ඇරගෙන එළියට ගියා.
එතකොට ම, යම් දෙයක්ගෙ මගෙ ඔළුවෙ පැටළෙනවා වගෙ දැනුණා. බැලින් නං මකුළු දැළක්. දොර උළුවස්ස ළඟින් පටන් අරගෙන, ළඟ ගහක අත්තකට වියලා. මට පේනවා දැන් දැළ කැඩිලා, ඒ පුංචි මකුළුවා කැඩිච්ච වියමනේ කෑල්ලක එල්ලීලා පැද්දෙනවා.
”මේ මොකෙද්ද මේ?උදේ පාන්දරම” කියලා ඌ තරහෙන් පුපුරනවා ඇති.
”ඉතිං මොකද මෙතන දැළක් විව්වෙ? අපි යන එන තැන, ඔයා පිස්සෙක් ද?” එයා මට මොකක් හරි කියන මට්ටමක හිටියා නං, මම දෙන්නෙ අන්න ඒ වගෙ උත්තරයක්.
ඊට පහු වෙනිදාත් ඒ වැඩේ ඒ විදිහටම වුණා.
ඊටත් පහු වැනිදා, ආයෙත්.
”අය්යෝ!” මම ඇත්තටම පසු තැවෙනවා, එක්කො, මාව අල්ලන්න පුළුවන් විදිහෙ දැළක් වියන්න ඕනෙ, එක්කො මගෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනෙ මෝඩ මකුළුවෝ! මම හිතනවා.
ඒත් ඉතිං මේ එකම මකුළුවෙක් ද? වෙන වෙන අය වෙන්න ඇති. මට එහෙමත් හිතෙනවා.
තවත් දවසක් දෙකක් ගියා!
මම දැන් උදේට කෝකටත් පරිස්සම් වෙනවා, එතැනින් ඔලුව පාත් කරගෙන යනවා. එක අතකට, මකුළුවා ට මොළයක් නැහැනෙ, ඌට පුළුවන් ද පාඩම් ඉගෙන ගන්න, සහජාසයට වැඩ කරනවා මිසක්. අපිට පුළුවන් මිනිස්සු විදිහට මොළේ පාවිච්චි කරලා වැඩ කරන්න!
ඔහොම හිතුවට එක දිගට ඔය සිද්ධිය ඔළුවෙ නැහැනෙ. තවත් දවස් දෙකකට විතර පස්සෙ, පුරුද්දට වගෙ එතැනින් ඔළුව නවාගෙන යන ගමන්, ඔන්න විශ්ෂයෙන් මතක් වෙලා දැළ දිහා බැලුවා. දැළ එතැන නැහැ, ඊට ටිකක් එහායින් ඒ විදිහටම දැළ වියලා, එක මුල්ලකට වෙලා ඌ බලාගෙන ඉන්නවා.
චිහ්! අපරාදෙ මම මෙතැනින් ඔළුව නවාගෙන යන්නෙ?
දැන් කවුද එතකොට පාඩම් ඉගෙන ගන්නෙ නැත්තෙ? ඌ කතා කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා නං අනිවාර්යයෙන් ම මගෙන් අහනවා!
සහජාසය!?
CHAPA