දෙවියො? මොන?

”අපේ අයියා තමයි මාව යැව්වෙ…මම නං ඕවා විශ්වාස කරන්නෙම නැහැ…”
ඔහු, තමන් ගිය ගමන ගැන දුක් වෙනවා!
”මට අපලයි ලු! මාස දෙකක් ඇතුළත කරන කියන කිසිම දෙයක් හරියන්නෙ නැතිලු! රට යන්න එපා ලු! ගියොත් එක්කො හිරේ යනවා ලු, නැත්තං මැරෙනවා ලු!”
ඔහුගෙ හඬ පසුතැවීමක්.
”දෙහි ත් කැපුවා..මෙහෙම මෙහෙම ඉණ වටේ කරකවල…මෙන්න මෙහෙම කොණ්ඩේ අල්ලලා…දෙහි ගෙඩිය කැපුවා…මගෙ ඔළුව නිකං විකාර වෙලා, චිහ්! අපරාදෙ මම ගියේ…”
ඔහු මේ කියන්නෙ, මීගමුව ප්‍රදේශයේ දේවාලයකට ගිය කතාවක්. රට ඉඳල නිවාඩුවකට ඇවිත් ආයෙ යන්න හදන වෙලාවෙ තමයි මේ අත්දැකීම ඔහු ලබන්නෙ.
”පිස්සුද, නැත්තං හැටි ද?”
මම අහන්න පටන් ගත්තා.
”ඔබ ඉගෙන ගත්තු කෙනෙක් වෙලත් ඔය වගෙ මෝඩ වැඩ වලට අහු වෙන්නෙ ඇයි? මට නං හිතා ගන්නවත් බැහැ!”
”අද මට කොහෙන් හරි මුතු ඇටයක් අරගෙන ආයෙත් දේවාලයට එන්න කිව්වා, මොකද්ද කරන්න…කොහෙන්ද දැන් මුතු ඇට හොයන්නෙ?”
මට ඔහු කියන දේ විශ්වාස කරන්නම බැහැ. මොකද, ඔහු ලෝකය ගැනත් යමක් කමක් ඉගෙන ගත්ත වෘත්තිකයෙක්.
”පිස්සු නං කෙළින්න එපා! ඔය වැඩේ පැත්තකට දාලා සාමාන්‍ය විදිහට වැඩකරගෙන යන්න!”
මගෙ හඬ විධානයක් වුණා.
”ඒ වුණාට…මට ඔය කියන විදිහට මොකක් හරි වෙයිද? මම ආයෙත් රට යන්න ඉන්නෙ, හෙට අනිද්දම…”
”මේ! බම්බු ගහන්නෙ නැතුව, පාඩුවෙ හිටපං…චිකේ! උඹට ලජ්ජ නැද්ද ඇත්තට?”
මගෙ වචනත් දැන් ටිකක් වෙනස් වෙනවා.
ඔහු ඔන්න බර කල්පනාවක.
”මම ඒත් කල්පනා කරන්නෙ…”
”ඒ පාර මොකද්ද?”
ඔහුගෙ දැන් කතා විලාශය නං මගෙ කුතුහලය අවුස්සන්න සමත්.
”මොකද්ද?”
”අර කපුවගෙ වයිෆ් කාරයත් දේවාලෙ වැඩ…”
”ඉතිං?”
”ඒ මනුස්සයගෙ ඇඟ පුරාම සුදු කබර…ඒ අස්සෙ එයා ඉවරයක් නැතුව ඇඟ කසනවා”
”ඉතිං?”
”මම මේ අපහාසයකට කියනවා නෙවෙයි…”
”ඉතිං?”
”නෑ ඉතිං…මම බැලුවෙ, ඔය කපුවට ඔච්චර බලයක් තියෙනවා නං දෙයියන්ට කියල තමන්ගෙ ගෑනිගෙ සුදු කබර සනීප කරල දෙන්න පුළුවන් නෙ…නේද?”
”ඔය තියෙන්නෙ මොළේ!”
”ඒක තමයි!”
ඔහුගෙ මුහුණ ට අමුතු එළියක් වැටුණා.
CHAPA