‘ආගම’ කියන්නෙ අබිං! කියලා මාක්ස්වාදය හදාරන අය දන්නවා.
ආගමක් කියන්නෙ විශ්වාසය සහ ඇදහිල්ල මත පදනම් වන සංස්කෘතික අවකාශයක්. කුමන කාලයකදි, කුමන මූලයකින් පැන නැගුණත් ‘ආගම’ කියන ආකෘතිය අඩු වැඩි වශයෙන් සමානයි ( බුදු දහම, ආගමක් බවට පත් වෙලා, සංස්කෘතියක් ගොඩ නගනකොට සිද්ධ වෙන්නෙත් ඒ වගෙ පරිවර්තනයක් තමයි – ඒ සාකච්ඡාව වෙනම එකක්!)
ඒත් දේශපාලනය කියන්නෙ නං මොනම තත්වයක් යටතෙදිවත් ආගමක් නෙවෙයි!
දේශපාලනය කියන්නෙ විද්‍යාවක්. එය දැනුම් පද්ධති ගණනාවක එකතුවක්. තව දුරටත් පරිණාමය වෙමින් පවතින ඓතිහාසික ක්‍රියාවලියක්. ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු සම්ප්‍රදාය, පක්ෂ ක්‍රමය, මැතිවරණ ක්‍රියාවලිය…නිසා මේ වනවිට එක පැත්තකින් දේශපාලනය, ආණ්ඩු කරවීමේ ව්‍යාපෘතියක් පමණක් වන තරමට හැකිළෙමින් තියෙනවා. රාජ්‍ය සහ ආණ්ඩුව අතර සිරවන ‘දේශපාලනය’ එතකොටම යම් යම් කණ්ඩායම් වල ආගම බවට පත්වෙනවා. ලෝකය පුරාම මේ තත්වය සමාන වුණත් ආසියානු සහ අප්‍රිකානු රටවල මේ තත්වය තව දුරටත් අයහපත්. හොඳම උදාහරණය තමයි, ඉන්දියාව, එයිනුත් තමිල්නාඩු දේශපාලනය.
ලංකාවෙ තත්වයත් පොදුවෙ, එච්චර හොඳ මට්ටමක නැහැ. සාපේක්ෂ හොඳ තැන් තිබුණත්.
බලන්න! අපේ රටේ හැම දේශපාලන පක්ෂයකම පහළ (?) මට්ටමේ පොදු ජන සාමාජිකයන් අති බහුතරය ඒ ඒ පක්ෂ වලට ”මාරාන්තික විදිහට” ආදරය කරන හැටි. ඔවුන්, තමන්ගෙ පක්ෂ සහ නායකයන් අදහනවා. පක්ෂය හෝ නායකයන් විවේචනය කරන කෙනෙක්ව දකින්නෙ පරම හතුරෙක් විදිහට. ජවිපෙ වගෙ පක්ෂයකට අනුව එවැන්නෙක් ද්‍රෝහියෙක් බවට පත්වෙනවා, මැරෙන තුරාවට සමාව නං නැහැ. ඒ, පක්ෂ නායකයා වුණත් කමක් නැහැ, පක්ෂයෙන් ප්‍රතික්ෂේප කරනවා නං.
එජාප, ශ්‍රීලනිප…වගෙ පක්ෂ වල තත්වය එච්චර දරුණු නැහැ, ඒත් යම් සමාන කමක් තියෙනවා.
මෙන්න මේ ආගමික පක්ෂ අනුගාමිකයන් තමයි කිසිම ප්‍රතිලාභයක් නැතුව ඒ ඒ පක්ෂ පෝෂණය කරමින් පවත්වාගෙන යන්නෙ. ඔවුන්ට බොහෝ විට දේශපාලන දැනුම ගලාගෙන යන්නෙ නැහැ, යනවා නං යන්නෙ පක්ෂ සීමාව ඇතුළෙ. ඒ නිසාම, ඒ බහුතරය ශරීරයෙන් දේශපාලනය කරනවා.
මැතිවරණ සටන් සඳහා දිවි නොතකා වැඩ කරන්නෙ ඔවුන් තමයි.
එක පාරටම පිටට නොපෙනුණා ට මේ ස්වභාවයත් දියුණු දේශපාලනික ලෝකයක් ගොඩ නගන්න හරස් වෙනවා. හේතුව සරලයි. මැතිවරණ සහ ඒ හරහා ආණ්ඩු බලය ඉලක්ක කරන පක්ෂ නායකයො සහ ඒ පිටුපස සිටින ව්‍යාපාරික ප්‍රජාව එක එක විදිහෙ උපක්‍රම යොදා ගන්නවා. එකඟවීම් සහ ප්‍රතික්ෂේප කිරීම් කරනවා. පහළ අති බහුතරය ඒවාට සංවේදී නැහැ, අනෙක එහෙම සංවේදී වෙන්න බැරිවෙන්න ඒ ඒ පක්ෂ විනය යාන්ත්‍රණ සකස්වෙලා තියෙනවා.
මේ තත්වය තුළ, වඩා යහපත් සමාජයක් ගොඩ නගන්න අවශ්‍ය පුළුල් දේශපාලන සංවාදය ගොඩ නැගෙන්නෙ නැහැ.
පැරණි සෝවියට් දේශය හුදු හීනයක් බවට පත් වෙන්නෙත්, කියුබාව මේ වෙනකොට පණ අදින්නෙත්, උතුරු කොරියාව මහා පවුරකින් තම දේශය කොටුකරගෙන බියෙන් වෙළී පවතින්නෙත් මෙන්න මේ ලෝක යථාර්ථය නිසා.
ලංකාවෙ අපිටත් මේ ඓතිහාසික අභියෝගය එහෙමම තියෙනවා.
ඒත්, අපට කරන්න පුළුවං මොකද්ද? උත්තරය සරල නං නැහැ!
මාක්ස්, දේශපාලනය, ආගම සහ අබිං!
යළි කියවන්න ඕනෙ, හැබැයි මුල සිට – විධිමත්ව!
CHAPA