නම නොදන්නා හීනයට ඉඩ දෙන්න

අමල්! ඔබ මේ වන විට තවත් කණ්ඩායමක් එක්ක ඩුබායි පොලිස් අත් අඩංගුවේ ඉන්න බව මාධ්‍ය වාර්තා හරහා දැන ගත්තා. ඒ,  මාකඳුරේ මධූෂ් නම් වූ කුප්‍රකට මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවාගෙ සාදයකට සහභාගී වී සිටියදී බවත් කියැවෙනවා.මේ සටහන ලියැවෙන්නෙ, ඒ සිදුවීම් මාලාව ගැන නෙවෙයි. ඔබ ඒ සාදයට ගියේ දැනගෙනද නැද්ද? ඔබ ඒ මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ද නැද්ද? වගෙ ප්‍රශ්න සඳහා උත්තර හොයන්නත් නෙවෙයි.ඔබ, ජවිපෙ සමඟ සම්බන්ධයක් තියෙනවද නැද්ද? කියන සමාජ මාධ්‍ය කතා ගැන ත් දැනට මගෙ විශේෂ උනන්දුවක් නැහැ.මගෙ කල්පනාව වෙන පැත්තක!ඔබ ඇත්තට ම දක්ෂයෙක්. ඔබේ හඬ සහ ගායන විලාශය අපූරුයි. ඔබේ පියා, මර්වින් පෙරේරා ගෙ හඬ පෞර්ෂය සමඟ පෑහුනත් ඔබේ හඬ ඔබ ට අනන්‍යයයි. ඔබේ සංගීත දැනුම සහ විවිධ පර්‍යේෂණාත්මක අත් හදා බැලීම්හරහා ඔය”අමල් පෙරේරා” ගොඩ නැගුණා කියලයි මම තේරුම් ගන්නෙ. ඒ වගේම ජනප්‍රිය මාධ්‍ය, විශෙෂයෙන් ම රූපවාහිණී නාලිකා ඔස්සේ ඔබ සෑහෙන ජනප්‍රියත්වයක් අත් පත් කරගෙන තියෙනවා. කොටින් ම ඔබ දැන් ලාංකේය සංගීතය තුළ වෙනම ලකුණක්.ඒත්, සමහර දක්ෂ සහ ජනප්‍රිය ශිල්පීන් සෑහෙන ප්‍රමාණයක් වගෙම, ඔබ ත් ඔබ හඳුණා ගත්තෙ නෑ කියලයි, මං නං හිතන්නෙ. ඒ කියන්නෙ ජීවිතය හරියට කියවා ගන්න ඔබ අපොහොසත් වුණා, ඒ අනුව ඔබ හිතු මතේ ජීවිතයක් ගත කරන්න ගත්ත කියල මං අනුමාන කරනවා. ඒ අනුමානය ට විවිධ තොරතුරු සහ එක එක කරුණු ගණනාවක් සම්බන්ධයි. ඒවා ගැන දිගට කතා කරන එකේ තේරුමක් නැහැ. ඊ ළඟ ට, මං මෙහෙම ලියාගෙන යනකොට කෙනෙක් අහන්න ඉඩ තියෙනවා, මොකද මේ අනිත් අයගෙ පුද්ගලික දේවල් හොයන්නෙ, ඔබ ට එහෙම අයිතියක් තියෙනවද කියල. ඔබ වුණත් එහෙම අහන්න බැරි නැහැ. ඒ ප්‍රශ්න සාධාරණයි. ඒත් අමල් පෙරේරා හෝ වෙන යම් ඕනෑම කලා කරුවෙක් අවසන් විග්‍රහයෙදි පොදු වස්තුවක් බවට පත් වෙනවා. එතකොට පුද්ගලික – පොදු බෙදීම අභියෝගයට ලක් වෙනවා. අන්න ඒ හරියෙදි තමයි මං මේ සංවාදය ගොඩ නගන්නෙ!ලෝකය පුරාම සහ ඉතිහාසය පුරාම වගෙ, ඉතා දක්ෂ කලා කරුවන් හදිසියෙ පිපිලා හදිසියෙ පර වෙලා යන අවස්ථා එමටයි. ඒ දුක්බර ගමනාන්තවලට විවිධ හේතු බලපානවා. ඒ අතර ජීවිත කළමණාකරණය කර ගැනීමේ නොහැකියාව ඉතා පොදුයි. එහෙම වෙන එක ඒ ඒ ශිල්පීන්ගෙ පුද්ගලික ජීවිතවල ප්‍රශ්නයක් වුණාට, එය ඒ ඒ කලාකරුවන් විඳින සහෘදයන් ට කරන ලොකු අසාධාරණයක් කියල මං යෝජනා කරනවා. මොකද ඔබ ඇතුළු කලා කරුවන් ඔබ ඔබ ට වඩා අයිති ඔබ වැන්නන් විඳින සමාජයට. එහෙම ගත්තොත්, ඔබ ට මීට වඩා වැඩි වගකීමක් තියෙනවා තම පැවැත්ම ගැන. පොදු ජන සමාජයත් කලකරුවන් ආරක්ෂාකරන පිළිවෙතක් අනුගමනය කරන්න ඕන වෙනවා ඒ අතරෙ. උදාහරණයක් විදිහට තමන් ආදරය කරන කලා කරුවන්, මත් පැන් සහ මත් ද්‍රව්‍ය සඳහා පොළඹවන්න සමාජය ට කිසිම අයිතියක් නැහැ. මං මීට කලිනුත්  අන්තර්ජාලය ඔස්සේ මේ විදිහෙම සටහනක් මුදා හැරියා, ඉතා දක්ෂ සගීත වේදියෙකුට, යන යන ප්‍රසංග වලදි හොඳට ම බොන්න දෙන තත්ත්වයක් මුල් කරගෙන. ඔබ ට මතක ද? ඊටත් ඒ ශිල්පියා ඉන්නෙ බීම කොහෙත්ම නොකළ යුතු අසනීප තත්ත්වයක. ඔහුගෙ සමීපතයන් දැන දැන එහෙම කරන එක මොන තරම් අපරාධයක් ද?මේ සේරම කතා සමහර විට ඔබ ට අදාළ නැතුව ඇති. ඒත් දැන් ඔය හිරවීම, විරාමයක් විදිහට අරගෙන ජීවිත යළි කියවන්න උත්සහ කරන්න. ඔබ යා යුතු මග ඕකද? හිතන්න පටන් ගන්න.  මට වරක් දෙවරක් ඔබේ පියා, මර්වින් පෙරේරා මුණ ගැහිල තියෙනවා. එක කාලයක් මට ගී පද රචනා පිස්සුවක් හැදිල තිබුණා. ඔබෙ පියාගෙන් සංගීතය ඉගෙන ගනිමින් හිටපු මගෙ යාළුවෙක් එක්ක ඔබේ මහ ගෙදර ට ගිහිං, එහෙම කුරුටු ගාපු ගී රචනාවක් ඔහුටත් දුන්නා දවසක්. ඔබේ පියා ට එදා ඔබ මට හඳුන්වා දෙන්න හොඳටම උවමනාව තිබුණත් ඔබ ඒ අහලක පේන්න හිටියෙ නැති නිසා එහෙම වුණේ නැහැ,  අපි ඉතිං එකිනෙකා මග හැරුණා.කෙටියෙන් මෙච්චරයි!ඔබේ ගී අහන්න මං ආසයි!”හීනයක් වගේ ඔබ ආවාහීනයක් දිගේ ඔබ ආවාආදරෙන් මගේ හිස අත ගෑවාහීනයක් ද මේ හිත කීවා…”ඒ ගීතය තුළ මම නැවතිලත් ඉන්නවා, ඔබ දන්නවද?ඒ ගීතයෙ මැද කොටස ඉවර වෙන්නෙ…”නම නොදන්නා හීනයට ඉඩ දෙන්න!”ඒත් අමල්!  මං දැනට මෙහෙම කියන්නං!”නම නොදන්නා හීන වලට ඉඩ නොදෙන්න!”CHAPAFeb 8, 2019




Leave a Reply

Your email address will not be published. Required fields are marked *