නෑ! මිනිස්සුන්ට මෙහෙම වෙන්න දෙන්න බෑ!

”කොහොමද ඉතිං…?” යාළුවෙක් කාලයකට පස්සෙ හදිසියෙ දුරකථනයෙන් ඇවිත්.”එහෙනං අපිවත් මතක් වෙනවා?”මං අහනවා.”මොකද නැත්තෙ! පහු ගිය ටිකේ කතා කරන්න නං බැරි වුණේ එක එක වැඩ නිසා…””මොනවද ඉතිං අළුත් වැඩ?”මං එහෙම අහන්නෙ නිකමට වුණත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවක වැඩ කරන විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඔහු නිතර අළුත් යමක් කරන්න හදන බව මං අත්දැකීමෙන් දන්නවා. එහෙම වැඩකට මටත් ආරාධිතයෙක් විදිහට සහභාගි වෙන්න ලැබුණා ඒ දවස් වල.”මං මේ කතා කෙරුවෙ…”ඔහුගෙ හඬ වෙනද වගෙ නෙවෙයි, දියාරුයි. කළකිරීමක් වගෙ මොකක් හරි දෙයක් ඒ අස්සෙ තියෙනවා. ”මට මාරු වීමක් ලැබිලා…මේ එහෙ යන්න සූදානම් වෙන ගමන්…””ම්ම්ම්ම්…බලාපොරොත්තුවෙන් හිටපු එකක් ද, නැත්තං….””මං ඉස්සර මාරුවීමක් නං ඉල්ලලා තිබුණා, ගෙදර ප්‍රශ්න වගයක් නිසා…ඒත් මේ ඒක නෙවෙයි, අනෙක මං ඉල්ලපු තැනට නෙවෙයි, මේ වෙන දිහාවකට,,,”ඔහු ඉන්නෙ කළකිරීමක බව දැන් මට පැහැදිලියි!”මාරු වීම් ප්‍රශ්නයක් නෙවෙයි…රාජ්‍ය සේවයෙ හැම දාම එක තැනක ඉන්න බැහැ…මට නං එහෙම ඕනත් නැහැ…ඒත් මේ වෙන කතාවක්…”ඒ ”වෙන කතාව” ගැන මටත් යම් අවබෝධයක් තියෙනවා, වරින් වර එහෙ ආ ගිය නිසා.  මේ යාළුවා මට හම්බ වෙන්නෙ අහම්බෙන්. එක දවසක් ඒ ආයතනය, තරු පන්තියේ හෝටලයක සංවිධානය කරපු වැඩ සටහනකට  දේශනයක් කරන්න මටත් අවස්ථාවක් ලැබුණා. ඒ මගෙ තවත් යාළුවෙකුගෙ මැදිහත්විමකින්. කොහොම වුණත් ඒ වැඩ සටහන මට එක විදිහක අමාරු අත් දැකීමක් වුණා. මං තේරුම් ගත්ත විදිහට, ඒ වැඩ සටහන ට සහභාගි වුණු නිලධාරි කණ්ඩයම ඒ වෙලාවෙ, ඒ කියන්නෙ එහෙම සුපිරි පරිසරයකදි – එහෙම සංවාදයකට සූදානමින් හිටියෙ නැහැ. ”මං දන්නවා මෙහෙම වෙන බව…මං අමාරුවෙන් වගෙ මේ වැඩේට ආවෙ, වැඩ සටහන විඩියෝ කරන වගකීම් බලෙන් වගෙ අරගෙන…ඒ ඔයා එනව කියපු නිසා…”එදා වැඩේ ඉවර වෙලා නිකං විකාර වෙලා වගෙ ආපහු එන්න හදන කොට මේ කතා නායක යාළුවා මගෙ ළඟට ඇවිත් හෙමින් කිව්වා.”අපේ කට්ටිය ඔහොම තමයි…ඇඳගෙන ඉන්නෙ…පව් ඉතිං…මේ වැඩ සටහනට මගෙ නම දැම්මෙ නැත්තෙත් මං වෙන විදිහකට හිතනව කියල එයාල හිතන නිසා…”අන්න ඒ වෙන විදිහකට හිතන නිසා තමයි, යාළුවට මේ යන්න වෙලා තියෙන්නෙ. ඔහු තම රාජකාරිය උපරිම ආකාරයට කරන ගමන් තම සේවය වඩා ජනතාවාදී කරන්න, ඉතාම නිර්මාණශීලී අත් හදා බැලීම් කරන්න පුරුදු වෙලා හිටියා. කෝච්චියෙ යන එන සරල සහ කරුණාවන්ත පුද්ගලයෙක් වූ ඔහු ඒ ආයතනය තුළ ත් බොහෝ දෙනෙකුගෙ ජනප්‍රිය හිතවතෙක්.ඒ නිසාම, ඔහු ඒ ආයතනයෙ සමහර පාලකයන් ට එක විදිහක අභියෝගයක් වෙලා තියෙන්න ඇති. මං හිතනවා.”අපේ ලොක්ක මට එන්න කියපු නිසා අද මං එයා හම්බ වෙන්න ගියා…මගෙන් අහනවා ඇපීල් එකක් දාන්නෙ නැත්තෙ ඇයි කියල…බලන්නකො, මාව මාරු කරල මගෙන් ම අහනවා ඇයි ඇපීල් නොකරන්නෙ කියල…මං සද්ද නැතුව හිටියා…මං අන්තිමට කිව්වා, මං යන්න ලෑස්ති වෙනවා කියල, මිනිහ මට කිව්වා…එහෙ ගිහිං බදාගෙන වැඩ නොකර පාඩුවෙ ඉන්න කියල…මාර වැඩක් නේද!””ඔය ඔබේ කතාව නෙවෙයි…රාජ්‍ය සේවයෙ කතාව, රටේ කතාව….ඒකනෙ රට ට මෙහෙම වෙලා තියෙන්නෙ…වැඩ කරන එවුන් ට ජීවිතය එපා කරවනවා, හොරු තක්කඩි පවතිනවා…දිගු කාලීනව නං උන් එක්කම රට ඉවර වෙනවා, ඒත් කෙටි කාලීනව එහෙම අය පවතිනව වගෙ පේනවා…රට ට ආදරය කරන හොඳ මිනිස්සු ඒකෙන් අධර්‍ය්‍යමත් වෙනවා…””මං කොහොමත් රාජ්‍ය සේවයෙ දිගට ඉන්නෙ නැහැ…පුද්ගලික අංශයට යන්න තමයි හිතාගෙන ඉන්නෙ…””පුද්ගලික අංශය ඔයිට එහා…අයියෝ! මට එහෙම අත් දැකීම් කොච්චර තියෙනවද, මේ වෙනකොට පුද්ගලික අංශයෙත් ඉහළ මට්ටමේ තනතුරු අතර, දක්ෂතාව, කැපවීම, වෘත්තීය මට්ටම…ආයතනයට කොච්චර අදරෙන් වැඩ කරනවද වගෙ කාරණා වලට වැඩිය ගේම් ගහන්න දක්ෂ අයට තමයි වැඩි අවස්ථා ලැබෙන්නෙ…ඊළඟට සම්බන්ධතා…පොඩි මිනිස්සුන්ගෙ කතාවත් ඒකමයි, උන් එක එක්කෙනාගෙ ගොදුරු…ඒක උන් ට තේරෙන්නෙත් නෑ! අන්තිමට මොකුත් නෑ!!”මං කියාගෙන යනවා. ඒ, එහෙම අත් දැකීම් සහ ඒ අතර පීඩාවට පත් විවිධ මුහුණු මැවෙන්න ගන්න නිසා.”ඔව්! හිතේ දුකට එහෙම හිතුවට මටත් එහෙම දැනෙනවා…””ඔය කතාව ඔයාගෙ කතාව කියල හිතන්න එපා, ඔය අපේ පොදු කතාව…ඉතිං අධර්‍ය්‍යමත් වෙන්න එපා…අපි දිගටම උත්සහ කරමු…””ඒක හරි…ඒත්, එන්න එන්න අපේ වයස යනවා…කැම්පස් එකෙන් අවුට් වෙලා දැන් අවුරුදු පහළොවකට වැඩියි…රාජ්‍ය සේවයෙත් ඊට සමාන කාලයක්…අන්තිමට කරපු දෙයකුත් නැහැ, වෙච්ච දෙයකුත් නැහැ වගෙ…”මං දැන් මොකද්ද ඔහු ට කියන්නෙ?හිතට නිකං හිස් ගතියක් දැනෙන්න ගන්නවා.නෑ! මිනිස්සුන්ට මෙහෙම වෙන්න දෙන්න බෑ! අපි මොනවා හරි කරන්න ඕන!මං ඔහුට එහෙම කිව්වද නැද්ද කියල හරියට මතක නැහැ.”මගෙ වැඩ වලදි උපරිම විදිහට ඔයත් උදව් කෙරුවනෙ…හුඟාක් ස්තූතියි කියන්නත් එක්ක මේ කතා කෙරුවෙ…”මං දැන් හොඳටම හිස්!”අපි ආයෙ කාලයකට මුණ ගැහෙන එකක් නැහැ…ඉතිං…”ඔහු මොන මොනවදෝ කියාගෙන යනවා, මං හිස් වෙලා නිසා කිසි දෙයක් ඇහෙන්නෙ නෑ!නෑ! මිනිස්සුන්ට මෙහෙම වෙන්න දෙන්න බෑ! අපි මොනවා හරි කරන්න ඕන!මං හිස්කම යන්නත් එක්ක කෑ ගහනවා, ඔබ ට ඇහෙනවද?CHAPAFeb 23, 2019




Leave a Reply

Your email address will not be published. Required fields are marked *