පිස්සු?!

” අපට ඔබ තුමා මුණ ගැහෙන්න ඕනෙ…වැදගත් කරණයකට…”
දුරකථන ඇමතුමක්!
”මොකක් සම්බන්ධයෙන් ද?”
”ම්ම්ම්…ඒක මුණ ගැහිලම කිව්වොත් තමයි හොඳ…කරුණාකරලා අපට වෙලාවක් දෙන්න පුළුවන් ද? කියන ඕන තැනකට එන්න පුළුවන්…”
විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රවලට සම්බන්ධ ප්‍රකට ආයතනයකට වැඩ කරන විධායක ශ්‍රේණියෙ නිලධාරියෙක් විදිහට තමන් හඳුන්වා දුන් ඒ පුද්ගලයා ඉතා ඕනෑකමින් ඉල්ලා හිටිනවා.
”ඔව්…අපට හම්බ වෙන්න පුළුවන්…ඒත් මොකටද කියල දැන ගත්තොත් තමයි වඩා හොඳ…එතකොට අපි දෙගොල්ලන්ට ම ලේසියි…”
මම කිව්වා.
”ඔබ තුමා කරන වැඩ සටහන් සියල්ලම වගෙ මම බලනවා..අපි හැමෝම අතර ඔබ තුමා ජනප්‍රියයි..අනික මම ඔබ තුමාගෙ fb friend කෙනෙක්…”
”එහෙමද?”
”අපිට විනාඩි 10 ක් ඇති…වැදගත් දේකට…”
”හරි…එහෙනං එන්න…”
ඉතිං ඔවුන් ආවා, දෙන්නෙක්.
”මේ මගෙ senior…එතුමත් ඔබතුමා follow කරනවා…”
මට දුර කථනයෙන් කතා කළ පුද්ගලයා, තමන් හඳුන්වා දෙමින් අනෙකා ත් හඳුන්වා දුන්නා, දෙන්න ම ඉතා ප්‍රියමනාප පුද්ගලයන්.
”you do a good service for our country…මේ අපේ රට!”
දෙවැන්නා කතාව පටන් ගත්තා.
”අපි ට පුළුවන් උපරිම දේ අපි කරන්න ඕනෙ…”
මම ආපිට කිව්වා.
”අපි දන්නවා…ඔබ තුමා කරන කියන දේවල්…බය නැතුව ප්‍රසිද්ධියෙ ඕන කෙනෙක් විවේචනය කරනවා…කෙළින් හිට ගන්නවා…ඒ නිසා ම ඔබ තුමා වගෙ අයට ජීවිත අවදානමක් තියෙනවා…”
”මගෙ විතරක් නෙවෙයි…අපි හැමෝටම! විශේෂයෙන් ම ඊළඟ පරම්පරාව ට”
”එහෙම නෙවෙයි…ඔබ තුමා මේ ගැන විශේෂයෙන් හිතන්න ඕනෙ…”
”මම හිතන්නෙ සමස්ත සමාජ පැවැත්ම ගැන!”
” Sir..this is a special policy…”
ඔහු, තම සගයා ළඟ තිබුණු ලියැවිල්ලක් අතට අරන් ඔන්න මට පෙන්නන්න පටන් ගත්තා.
”ඒ කියන්නෙ?”
මම ටිකක් අවුල් වුණා.
”මේ policy එකෙන් ඔබ තුමාට සහ පවුලෙ අනිත් අයට…”
”ඔබ ඔය හදන්නෙ රක්ෂණ ආවරණයක් මට මට promote කරන්න නං කාලය අපරාදෙ…Sorry! I am not interested…”
මම ඒ වෙනකොට ඔවුන් කියන්න හදන දේ තේරුම් ගනිමින් හිටියා.
”නැහැ…නැහැ…මේක රක්ෂණ ක්‍රමයක් ම නෙවෙයි…ජීවිතය ආවරණය කරන විදිහක්…This is a Health Care project…හදිසියකදී රුපියල් ලක්ෂය දක්වා…”
”එපා…එපා…මම කවදාවත් මගෙ ජීවිත අවදානම ගැන උනන්දුවක් නැහැ…ඔයාලගෙ කාලය අපරාදෙ…”
මම එහෙම කියනකොට ම, ඒ ඉහළ නිලධාරියා”ඇයි බූරුවො උඹ මූට මේ ගැන කියන්නැතුව ද එපොයින්ට්මන්ට් එක දැම්මෙ!” වගෙ නුරුස්සන බැල්මක්, තම පහළ නිලධාරියා ට දැම්මා.
”My struggle is to protect the entire society, then the Society will protect me!”
මම, සමස්ත සමාජය ආරක්ෂා කරන්න අරගල කරන බවත්, එතකොට සමාජය මාව ආරක්ෂා කරන බවත්, ඒ වෙන්වෙන මොහොතෙ මම ඔවුන් ට කිව්වා.
”බලන් හිටපං! උඹට නං පිස්සු!”
ඔවුන් දෙදෙනාගෙම ඒකාබද්ධ බැල්ම එහෙම කිව්වා.
”උඹල ට තමයි පිස්සු, උඹලට එහෙම කිව්වට එහෙම නොවෙන බව මමත් හොඳට ම දන්නවා..උඹල තමයි ඒක දන්නෙ නැත්තෙ, මොකද උඹල වගෙ එවුන් තමයි සමාජයෙ වැඩිපුරම ඉන්නෙ, උඹල අනුන්ගෙ ජීවිත එක්ක ක්‍රීඩා කෙරුවට, මේ යන විදිහට… අන්තිමට උඹල අපි ඔක්කොම ඉවර වෙනවා!”
මම එහෙම හිතුවට මගෙ බැල්මෙන් ඒ වග තේරුම් ගන්න ඔවුන්ට බැරි වුණේ, මම ආපහු හැරිච්ච නැති නිසා!
CHAPA