බම්බු ගහපං!

”හෙලෝඕඕඕ…මේ චාපා මහත්මයාද?”
ඇමතුම නං යුරෝපයෙන්, ඒත් මේ කවුද? තැන්පත් මැදි වියේ හඬ සහ මහත්මා ස්වරය මාව උනන්දු කරනවා.
”ඔව්, කතා කරනවා…!”
මගේ තාක්ෂණික ප්‍රතිචාරය!
”මෙහෙමයි මහත්මයා…අපි විදේශගත ශ්‍රී ලාංකිකයො හැටියට රට වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරනවා, අපි මේ දැනුත් දෙමළ ඩයස්පෝරාවෙ ඊ ළඟ සැලසුම් ගැන අධ්‍යනය කරමින් ඉන්නෙ, අපි මැරෙන්න ඕන ඒකීය රටක් ඉතුරු කරලා, එහෙම නැති වුණොත්…හෙලෝ…හෙලෝ…චාපා මහත්මයා…!”
ඔහුට හිතෙන්නෙ දුරකථන මාර්ගය අවහිර වෙලා කියල.
”මට ඇහෙනවා…ඔව්, ඔව්…ඉතිං…!”
මං ඔහුගෙ සැකය දුරු කරනවා.
”ආහ්! හරි…! මෙහෙමයි…අපි සංවිධානයක් හැටියට මේ දවස්වල…ඔය පළාත් සභා ගැන ලොකු මැදිහත්වීමක් කරගෙන යනවා, ..”
”ඒක හොඳයි, පළාත් සභා ගැන…”
ඔහු නවත්තලා, මං කියන්න පටන් ගන්නකොටම, ආයෙත් ඔහු…!
”මෙහෙමයි චාපා මහත්මයා, ඔබ තුමාගෙ ස්ථාවරය පැහැදිලියි, අපිත් පළාත් සභා මැතිවරණය පවත්වනවාට විරුද්ධ වෙන්නෙ, ඔබ තුමා වගේම…”
මොකක්?!
මං එහෙම කිව්වෙ නෑ, ඒත් ඔහුට බාධා කරමින් මගෙ කතාව කියන්න ගත්තා.
”පළාත් සභා මැතිවරණය අනිවාර්‍යයෙන්ම…”
”නවත්තන්න ඕන! අපිත් කියන්නෙ ඒකමයි…”
ඔහු මැද්දෙන් කඩා පැන්නා.
”එහෙම නෙවෙයි…!”
මං සන්සුන්ව ආයෙ කතාව පටන් ගත්තා.
” 13 ගැන, පළාත් සභා ගැන, MCC ගැන…මං දිගට දිගට කතා කරන විඩියෝස් තියෙනවා…මේකයි…”
”ඔව්, ඔව්…! මං නිදහස් නිතර බලනවා, ඒකනෙ මේ කතා කරන්නෙ…ඔබ තුමා කියන එක හරි, 13 ගෙනාවෙ ඉන්දියාව, පළාත් සභා සුදු අලියෙක්…. මහජන මුදල් කන මහා අපරාධයක්…ඒ නිසා අපි ඒක නවත්තන්න ඕන!”
”නෑ, නෑ! මේ වෙලාවෙ පළාත් සභා යාන්ත්‍රණය තමයි….!
‘හෙලෝඕඕඕ…”
ඔහු මගේ කතාවට උඩින් හෙලෝ ගානවා, ඉඩක් දෙන්නම හොඳ නෑ, මං දිගට කතා කරගෙන යනවා! මං හිත තද කර ගත්තා.
” පළාත් සභා තමයි ඉඩම් කොල්ලයට තියෙන එකම නීති බාධාව…කට්ටිය සෙට් වෙලා ඒක අහෝසි කරන්න කැසකවන්නෙ ඒකයි…! MCC දක්වා වන ඉන්දු ශාන්තිකර කලාපීය මෙහෙයුම ගැන ඇහැ ගහගෙන ඉන්න! මං ඒ ගැන දිගට කියන දේවලුත් අධ්‍යයනය කරන්න, ඔය MCC…”
”හෙලෝඕඕඕඕ….”
ආයෙත් ඔහු, මොන විකාරයක්ද මේ?!
”ඔය MCC ගැන…”
”මට මෙච්චර වෙලා කියපු දේ ඇහුනෙ නෑ…මොකක් හරි සිග්නල් අවුලක් වගෙ…හෙලෝඕඕඕඕ….!”’
”මෙහෙමයි…MCC ගැන….”
” හරි හරි! දැන් හොඳට ඇහෙනවා චාපා මහත්තයා…මං දන්නවා, මට තේරෙනවා, ඔබ තුමාගෙ වැඩ සටහන් මං හැමදාම වගෙ බලනවා…ඔබ තුමා කියන්නෙත් අපි කියන්නෙත් පළාත් සභා අහෝසි කරන්න කියලන, මෙහෙමයි…! මගේ බැක් ග්‍රවුන්ඩ් එකත් ඔබ තුමාට කියන්නම ඕන, මං කවදාවත් ඔය පක්ෂ වලට වැඩ කරල නෑ, මේ පාර තමයි රට විනාශ වෙනවා බලං ඉන්න බැරුව ගෝඨාභය මහත්තයා බලයට ගේන්න බැහැලා වැඩ කෙරුවෙ…! දැන් ඔය …මොකද්ද මේ…ආ! MCC එක ට විරුද්ධව මිලින්ද මොරගොඩ මහත්තයා වැඩ කරන නිසා තමයි අපේ ජනාධිපති තුමා එතුමාව ඉන්දියාවෙ හයි කමිෂනර් කරල යවන්නෙ…මං දැක්කා ඔබ තුමා ඒ තීරණය අගය කරනවා….හොඳ දේට අපි හොඳයි කියන්න එපෑ, නේද මහත්මයා! මෙහෙමනෙ…මේ පළාත් සභා…”
බම්බු ගහපං!
මං එහෙම කිව්වද නැද්ද මන්දා! ඒත් කෝල් එක නං කට් කෙරුවා.
හිතේ කණස්සල්ල යන්නත් එක්ක නිකමට ලියාගෙන ගියා!
CHAPA, Sept 19, 2020