අපේ ගෙවල් ඉස්සරහ ඉන්නවා අවුරුදු 5 ක විතර දඟකාර පුංචි තරුණයෙක්. එයාට පුංචි අයියලා දෙන්නෙකුත් ඉන්නවා. මම එක වෙලාවක ගේට්ටුව අරිනකොට එයා පොඩි අයියත් එක්ක, ගෙවල් ඉස්සහ පාරෙ බයිසිකල් පදිනවා. අයියා වගෙ ඉක්මනට ඉක්මනට බයිසිකල් පදින්න තමයි මෙයාටත් ඕන. මම බලාගෙන ඉන්න නිසා එයා දැන් වැඩ දාලා එයාගෙ පුංචි බයිසිකලේ පදිනවා.
”ඔයා අතනට ගිහිං හරවගෙන එන්න ?”
මම ඇරගෙන ඉන්න ගේට්ටුවෙන් අපේ ගරාජ් එක පෙන්නලා නිකමට එයාට කිව්වා.
”හා…අන්න වැඩේ!”
එයා දකුණු පැඩලය අතින් උඩට ගන්න ගමන් කිව්වා.
”බෑ..බෑ…මං දන්නවා…”
මුහුණ ටිකක් ඇද කරන ගමන් ඔහු කිව්වා.
”මොකද්ද ඔයා දන්නෙ?”
”ඔයා හදන්නෙ මම ඇතුළට ගියාම ගේට්ටුව වහන්න!”
”අපෝ…මම එහෙම කරන්නෙ නැහැ!”
”නෑ?”
පුංචි තරුණයා ත් ආපහු කිව්වා.
”ඔයා මෙහෙම ගිහිං මෙහෙම එන්න…”
මම ඔහුට, ගිහිං රවුමක් ගහල ආයෙ එන හැටි අතින් පෙන්නුවා.
”ම්…බෑ..බෑ…මං දන්නවා ඔයා මම ගියාම ඕක වහයි…ඔය හිනා වෙන්නෙ ඒක තමයි…”
”නැහැ ළමයො…ඔයා ගිහිං බලන්නකො…”
මම ගණනකට නොගෙන කිව්වා. ඔහු හෙමින් හෙමින් මගෙ ඉරියව් නිරීක්ෂණය කරමින් ම ගමන පටන් ගත්තා, ”ආ…ආ…ඒඒඒ…”ඔය වගෙ ඒවත් කිය කියා.
ටිකක් දුර යන ගමන් ඔහු ආයෙ විමසිල්ලෙන් මං දිහා බැලුවා, මම ඈත අහස දිහා බලාගෙන වගෙ හිටියා.
”වහනවද?”
ඔහු එහෙම ඇහුවත් මම ඇහුනෙ නැහැ වගෙ හිටියා.
ඊට පස්සෙ එයා විශ්වාසයෙන් වගෙ යන්න පටන් ගත්තා, ”හහ් හා…” ඒ පාර හිනාව නං ජයග්‍රාහී එකක්. ඔහු ටික වෙලාවක්, ගේට්ටුවෙන් එහාට මෙහාට හිතේ හැටියට බයිසිකල් පැදලා, ”හෝ….”වගෙ එකක් කියල කෑගහමින් පොඩි අයියා ඉන්න කන්ද පැත්තට අමාරුවෙන් යන්න පටන් ගත්තා. ඒ අතර ඔහු ආයෙත් ටිකිරි සිනහ පාමින් මගෙ මුහුණට එබුණා.
”ඇත්ත තමයි! ඔයා කියපු දේ කෙරුවා…මාව රැවැට්ටුවෙ නැහැ එහෙනං…” ඒ මුහුණෙ කතාව මම කියව ගත්තා.
පුංචි ළමයි මල් වගෙ! කතාව ඇත්ත.
හැබැයි, අපි, වැඩිහිටි සමාජය ඔවුන්ට එහෙම පවතින්න දෙනවද? අවිශ්වාසය, සැකය, බොරුව, වංචාව, නොනවතින තරඟය…මේ හැර මොනවද අපට තියෙන්නෙ? ඔව්! වැඩිහිටි අපටත් එහෙම මල් වගෙ සුන්දර ළමා කාලයක් තියෙන්න ඇති! ඇති නෙවෙයි, තිබුණා. එතකොට අපට කොහොමද මෙහෙම වුණේ? අපි කවදාවත් උනන්දු නැති, ඒත් බරපතළ ප්‍රශ්නයක්!
එකිනෙකා විශ්වාස කරන, එකිනෙකා ට ගරු කරන සුන්දර වැඩිහිටි සමාජයක් හදා ගන්න අපට බැරිද? මේ වෙළෙඳපොළ බලවේග තුළ එහෙම මිනිස් පැවැත්මක් අපට තියෙන්න පුළුවන් ද?
”බෑ…බෑ…මං දන්නවා…”
ඒ අර දරුවගෙ බැල්ම!
මගෙ හිත ඇතුළෙනුත් පුංචි එකෙක් ඇවිත් මං දිහා එහෙම බලන්න පටන් ගත්තා!”
CHAPA