බුදු අම්මෝ…එපෝ!

”මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි…”
උදෙන්ම දුරකථන ඇමතුමක්.
”ඔව්! මම දන්නවා…”
දන්නවා කියන්නෙ, ඔය කතා කරන නොම්මරය මෙහෙ එකක් නෙවෙයි නිසා. මම මට ම කියා ගන්නවා.
”මහත්තයෝ අපේ රට ගැන දුකයි…”
”මට තේරෙනවා…”
ඔහුගෙ හැඟීම් බර කතාව ට මම ත් එකතු වෙනවා.
”මට පේනවා ඔබ තුමා යමක් කරන්න උත්සහ කරනවා…ඒකයි මම මේ කතා කරන්නෙ…ඒ අතරෙ මට පේනවා ඔබ තුමා අර ඇබෑර්තු ගැන දාන ඇඩ්වටිස්මන්ට්ස් එහෙම, කමක් නැහැ…ඒවත් කර ගන්න, ඒ වුණාට රට ට මොකක් හරි වැඩ පිළිවෙලක් හදා ගන්න බලන්න…”
”මොකක්?”
මට එහෙම කියවුණේ, මම රැකියා ඇබෑර්තු දැන්වීම් පළ කරනවා කියන නිසා.
”මොකද්ද ඒ ඇඩ්වටිස්මන්ට්ස් කතාව?” 
”නැහැ, නැහැ, කමක් නැහැ…ඒවා කරගන්න…කමක් නැහැ…මං කියන්නෙ…”
”මම එහෙම දැන්වීම් කරන්නෙ නැහැ, මොකද්ද ඔය කතාවෙ තේරුම?”
”අර දාලා තියෙන්නෙ…අමාත්‍ය බ්‍රෝකර්වරු ද මොකද්ද වේකන්සි එකක් එහෙම…මොකක් හරි ආදායමක් එන මාර්ගයක් නිසා ඒවා කර ගන්න…ඒ වුණාට…”
”අයියෝ…ඒ දැන්වීමක් නෙවෙයි අනේ, පෝස්ට් එකක්…ඒ කියන්නෙ…”
”මේකයි මහත්තයෝ…අපිටත් යමක් තේරෙනවා…මම දකුණෙ…මං කියන දේ පොඩ්ඩක් අහන්නකො..ඔබ තුමාලා, ඔය නායක හාමුදුරුවරු එහෙම එකතු වෙලා රට ට හොඳ වැඩ පිළිවෙළක් හදන්නකො…”
මගුලක් කියනවා! 
මගේ ඔළුවෙ තවම වැඩ කරන්නෙ අර දැන්වීම් කතාව. ඒත් දැන් ඉවසීමෙන් වැඩ කරන්න ඕන.
”මෙහෙමයි..අර ඇඩ්වටයිසින්ග් කතාව ඉස්සර වෙලා පැහැදිලි කර ගන්නකො, ඒක ඔබ හිතන විදිහේ රැකියා ඇබෑර්තු දැන්වීමක් නෙවෙයි, ඒකෙ තියෙන්නෙ උපහාසාත්මක පණිවිඩයක්…ඒ වගේ පෝස්ට්ස් හරහා සමාජය තුළ යම් සංවාදයක් ගොඩ නගා ගන්න උත්සහ කරනවා…අනෙක..”
”මහත්තයෝ…මගේ ළමයි නං ඔය රට ට එන්නෙ නෑ, මම ආවත් ඉන්න බලාපොරොත්තුවක් නෑ, මේකයි මහත්තයා, යම් ජාතික…”
අනේ! මං කියන එක අහපන්කො!
මට එහෙම කියවෙන්න ගියා, කිව්වෙ නෑ.
”ඔබ තුමා දැන්වීම් නෙවයි මොනවා කළත් මට කමක් නෑ, මං කියන්නෙ…”
ඕයි!
එහම කියවෙන්නෙත් නෑ.
”ජාතික වැඩ පිළිවෙළක්…”
යකෝ!
කෝ? වචන පිටවෙන්නෙත් නෑ.
”මං මේ වැඩ කරන අතරෙ පොඩි බ්‍රේක් එකක් ඇවිත් ඔබ තුමාට කතා කෙරුවෙ ඔය පණිවිඩය කියන්න…”
බම්බු ගහපන්!
කියන දේ තේරුම් ගන්න උත්සහ නොකර මොකද්ද ජාතික මගුලක් කියන නිසා මගෙ ඔළුව විකාර වෙනවා. ඒත් පරිස්සම් වෙන්න ඕන.
”කතා කෙරුවට සතුටුයි!”
ඔව්! එහෙම හොඳයි!
”මම ආයෙ කතා කරන්නං…”
”බුදු අම්මෝ…එපෝ!”
චිහ්! ඒ ටිකවත් කියාගන්න ලැබුණා නං!
CHAPA
Nov 7, 2018