මං මැරුණා!

”ඒයී…වෙඩි තියපං වෙඩි තියපං යකෝ…ඒයි, කෝ? ෂේහ්…”එක තරුණයෙක් කෑ ගහනවා.”බුලට්ස් නෑ ! බුලට්ස් නෑ!…දීපන් යකෝ ඉක්මනට…හ්ම්…ඔන්න ඔන්න…එකෙක් උඹේ පිටි පස්සෙන්…ඔය ඔය…!”ඒ අනෙක් තරුණයා.”අඩෝ! ඔන්න එකෙක් බඩ ගාගෙන එනවා…බෝම්බයක් ගහපං…ගහපං ගහපං…ගහපං අඩෝ!”ඒ, තුන් වැනි තරුණයා.”මූ මගේ…උඹලා ගහන්න එපා! අඩෝ! එපා එපා! මං ගහන්නං…ඔන්න ගැහුවා! ඒයි…හරේ! මං ඌ මැරුවා!”මුල් තරුණයා බාගෙට නැගිටලා වගෙ කෑ ගැහුවා.බය වෙන්න එපා! මේ පරිගණක සෙල්ලමක්, ඒ කියන්නෙ computer game එකක්! තුන් දෙනා ඉන්නෙ එහෙ මෙහෙ ගෙවල් තුනක, ඔවුන් යාළුවො! අවුරුදු විසි ගණන් වල තරුණයො, රැකියාව ඉවර වෙලා ඉක්මනට ගෙදර ඇවිත් මහන්සිය නොබලා ම වැඩේ ට බහිනවා. නිවාඩු දවස් වල එක ගෙදරක ට ගිහිං වැඩේ කරනවා, නවීන තාක්ෂණය හරහා තමයි දැන් නං ඔය සම්බන්ධ වෙලා ඉන්නෙ.”ඒයි ඒයි…ඔන්න ඔතන ගහ එහා පැත්තෙ එකෙක් හැංඟිලා ඉන්නවා..පස්සෙන් පලයන්…ගහපන්! ගහපන්! අඩෝ ගහපන්!””උඹ ඌට ගහපන්…මං මේ එකෙක් පස්සෙ යනවා, ඌ ට බෝම්බයක් ගහලා එන්නං…”ඒ අර මුල් දෙන්නා.”බෝම්බ තියා ගනිං යකෝ, ඉවර කරන්න එපා…තව කී දෙනෙක් මරන්න තියෙනවද? එයි! ඔන්න එකෙක් අර බැම්ම උඩ! පස්සෙන් බං පස්සෙන්…ඒයි ගහපං යකෝ…ගහපං!”තුන් වැන්නා.”අඩෝ! අන්න උඹ ට වෙඩි වැදුනා…මං උඹට කිව්වා! කෝ උඹ අහන් නෑනෙ…උඹ මැරුණා,,,මැරුණා! අඩෝ!”ඒත් ඔහුමයි.”අයියෝ, අරූ මරන්න කලින් මං මැරුණා…චිහ් අප්පා!”ඒ පළ වෙනියා.”උඹ ඊයෙත් ඔහොමයි…පණ්ඩිතයා වගේ ඉඳලා අන්තිමට මැරුණා!””ඒක නං මාර කෑමක් ඕයි! ඌ බෝම්බෙ ගහන කල් මං දන්නෑ බං…මාර කෙළිය..”තුන් වැන්නා.”ඒයි…ඔන්න උඹට අරූ වෙඩි තියනවා, පැනපං! පැනපං! අයියෝ බං උඹත් මැරුණා,,,චික්! අද නං ෆුල් අප්සෙට්…හිටපං! මං එනවා…”දෙවැනි තරුණයාගෙ මුහුණ තරහෙන් පිපිරෙනවා!”ඉඳා! ඉඳා!”ඔහු ආවේශ වෙලා.”අඩෝ! හිටපං…දෙන්නං උඹ ට…ආ ආ…ඉඳා!”දැන් ඔහු පරිගණක තිරය ට එබීගෙන, අත පය දර දඬු වෙලා.”ඉඳා! බෝම්බයක්..ඈ! ෂිහ්…උන් මට තියනවා…අහ්! මට වෙඩි තියනවා…හිටපල්ලා! අහ් හූහ්…මං මැරුණා!”දෙවැනි තරුණයත් මැරුණා.කමක් නෑ බං! අපි හෙට උන් මරමු!තුන් දෙනාම කතා වුණා.CHAPAJan 7, 2019




One thought on “මං මැරුණා!

  1. හිරාන් රණසිංහ

    හිතවත් චාපා,
    ඉහත කොම්පියුටර් ගේම් ලිපිය කියවා යනවිට මගේ මකකයට ආ, මා මුහුණ දුන් සත්‍ය සිදුවීමක් ඔබ සමඟ බෙදා ගැනීමට කැමතියි .
    මගේ මතකයේ හැටියට එය 2000 වසරේ එක්තරා දිනක්. මවිසින් කරන ලද ග්‍රැෆික් නිර්මාණයක් ඩිජිටල් ප්‍රින්ට් එකක් ගැනීම සඳහා මහරගම නගරයේ එක්තරා ආයතනයකට ගොඩවැදුණෙමි.
    වෙලාව හවස 5.55 ට පමණ ඇත. ආයතනයේ ඒ මොහොතේ සිටියේ එහි අයිතිකරු යැයි සිතිය හැකි අයකුත්, ඔහුගේ බිරිඳ සහ පිරිමි දරුවන් දෙදෙනාත් පමණි. සේවක සේවිකාවන් වැඩ නිමවී ගොස් ඇති නිසා එහි තිබූ පරිගණක බොහොමයක් නිදහස්ව තිබුණු අතර ඉන් එක් පරිගණක තිරයක් මත, එකිනෙකා ගහ මරා ගන්නා රෙස්ලින් වැඩසටහනක් දිගහැරෙමින් පැවතිනි. මේ දරුවන් දෙදෙනාත්,දෙමව්පියන් දෙදෙනාත් ඉතා උනන්දුවකින් දෑස් යොමා ⁣සිටියේ ඒ වෙතටය.
    කතාවේ හොඳම හරිය එන්නේ දැන්ය…
    මා ආයතනයට ඇතුළු වූ බව දුටු පියා වෙත මා හට අවශ්‍ය කාරනාව පැවසූ වෙමි. මාගේ යූඑස්බී ඩ්‍රයිව් එකත් රැගෙන තවත් පරිගණකයක් වෙත යන අතරතුර මේ පියා හරි අපූරු විධානයක් තම දරුවන් වෙත දුන්නේ ය.
    එය ඔහුගේ ම වචන වලින් ම මෙහි සඳහන් කරමි.
    “හා… හා… දැන් ඔය රෙස්ලින් ගේම් එක නවත්තනවා. දැන් දානවා පිරිත් සීඩී එක… දැන් 6 වෙලාව. බුදු පහන තියන්න ලෑස්ති කරනවා…”
    එක් මොහොතකට මා ගල් ගැසුනාක් මෙන් දැනිණ.
    උපතින්ම කතෝලිකයකු වූ මා බුදු දහම ගැන ඉතා පැහැදීමක් ඇති එය හදාරන අයෙක්මි.
    මේ සිද්ධිය මට මහත් කම්පනයක් ගෙන දුන් කාරනයක් විය. 2000 වසරේ දී කුඩා දරුවන් වූ ඔවුන් දැන් 18-20 වයසේ පසුවන අය විය හැකිය. ඔවුන් දෙමව්පියන් ගෙන ලද වැරදි ආදර්ශ දැන් කෙසේ ඔවුන් පිළිපදින්නේ යැයි කාට කිව හැකිද. ශ්‍රේෂ්ඨ බුදු දහමේ හරයන් සැබෑ ලෙසම අප රටේ බෞද්ධයන් භාවිතාවක් කරගන්නවාද… මෙලෙස ඉදිරියට යන රට කොතැනින් නවතීද… පිළිතුරක් නැති උභතෝකෝටිකයක සිරවී සිටිමි.
    (ඔබගේ දේශනයකදී ඉහත කතාව උදාහරණයක් ලෙස යොදාගන්නේ නම් ස්තුතිවන්ත වෙමි)

Comments are closed.