මකබෑවියන්!

”මහත්තයා…මං මේ කතා කරන්නෙ, අර පෝස්ට් එක දැකලා…”
”මොන පෝස්ට් එක ද?”
ජංගම දුරකථනය මෙහා පැත්තෙ මං කතා බහ ට සූදානම් වෙනවා.
”අර රටේ තැන තැන රැස්වීම් තියන…”
”ආ! අර අන්තිම පෝස්ට් එක…ඉතිං!”
මගේ උනන්දුව ටිකක් වැඩි වෙනවා.
”මං මහත්තයාගෙ ටෙලිෆෝන් නොම්මරේ ගත්තෙ ඒකෙන්…මහත්තයාට වෙන කවුරු හරි කතා කෙරුවද ඒ ගැන?”
”තවම නං නැහැ…මං ඒක දැම්මට දන්නවා ඒවා කෙරෙන්නෙ නෑ කියලා..නිකමට උත්සහ කරනවා…දේශපාලනය එහෙමනෙ…”
මං හිතට එන දේ කියාගෙන යනවා.
”මහත්තයා…මට මං දේශපාලනයක් නෑ…මට ඔය කොයි පක්ෂෙත් එකයි, මේ ඇත්තමයි…”
ඔහු ගෙ හඬ තැම්පත්, විශ්වාසනීය ගතියකුත් තියෙනවා.
”ඔබ තුමා කියලා තිබුණෙ රටේ තැන තැන කියලනෙ…එහෙම නෙවෙයි මහත්තයා…අපි හැම නගරයකම…හැම ගමකම රැස්වීම් තියමු…”
මොකක්? මට එහෙම කියවුණාද හිතුණා ද මන්දා!
”ඔව්, අපිට ස්ටේජ් එක ගහන්න යන්නෙ පැයයි…ඒ කියන්නෙ…සවුන්ඩ්ස්, ලයිට්ස්…සේරම දාලා…අපේ කොල්ලො යක්කු වගේ වැඩ…මහත්තයා විශ්වාස කරන්නකො…”
”ඒ කියන්නෙ?…මට තේරුණේ නෑ!”
”අපේ ස්ටේජ්..අපේ ලයිට්ස්. අපේ සවුන්ඩ්ස්…අපේ වාහන…අපි දෙන්නං වැඩේ නියමෙට…”
”මං මේ උත්සහ කරන්නෙ…මිනිස්සු දැනුමෙන් බල ගන්වන්න…ඒ කියන්නෙ පොදු ජනයා…කොහොමද එයාලව ගෙන්නව ගන්නෙ…අනෙක හුඟ දෙනෙක් පක්ෂවලට බෙදිලා, අනිත් පැත්තෙන් එන්ජීඕස්…එතකොට…”
පුරුද්දට වගෙ මං කියාගෙන යනවා.
”මහත්තයා…අපටත් පක්ෂ වැඩක් නෑ..ඕන පක්ෂයක් වෙනුවෙන් අපි වැඩ කරනවා…මිනිස්සු ගෙන්වන එක නං අපිට කරන්න බෑ, අපි අපේ ජොබ් එක තිතට කරනවා…ආ! අපි ළඟ පුටු…ටෙන්ට්ස් එහෙමත් තියෙනවා…”
”ඔබ ඔය කියන්නෙ…”
මගේ වචන දැන් අපිළිවෙළයි.
”මෙහෙමනෙ…අපේ ගාන අපි කියන්නං…මහත්තයා කැමති ගානක් අපට කියන්න, මහත්තයානෙ සංවිධායක…අපි ඒ ගාන ඉන්වොයිස් කරන්නං…මහත්තයත් ගොඩ, අපිත් ගොඩ…එහෙමනෙ වැඩ වෙන්නෙ මහත්තයා…”
මොකක්?
මං එහෙම ඇහුවද මන්දා!
එතකොටම මගේ අතින් නොදැනීම දුරකථනය විසංඳි වුණා.
මකබෑවියන්!
අන්න ඒ වගෙ මොකක් හරි නං මට කියවුණා!
CHAPA, Dec 21, 2018