මතක නෑ? අයියෝ!

ඔබ හොඳ මතකයක් තියෙන කෙනෙක් ද? නැද්ද?
මතකය ගැන විවිධ විද්‍යාත්මක සොයාගැනීම් තියෙනවා, තවම විවිධ පරීක්ෂණත් කෙරෙනවා. කොහොම බැලුවත්, කෙනෙකුගෙ මතකය සාධක ගණනාවක් මත රඳා පවතින බව නං පේනවා.
සාමාන්‍යයෙන්, සමහරුන්ට උපතින්ම හොඳ මතක ශක්තියක් තියෙනවා. තවත් සමහරු ඒකෙ අනිත් පැත්ත. ඒ දෙවිදිහටම මැද්දෙ වගෙ ඉන්න කට්ටියකුත් ඉන්නවා. කෙනෙකුට, තම මතක ශක්තිය යම් ප්‍රමාණයකට දියුණු කරගන්න පුළුවං යම් යම් අභ්‍යාස ගැනත් අහන්න ලැබෙනවා.
සමහරු අනං මනං හොඳට විස්තර ඇතුව මතක තියාගන්න දන්නවා, අවශ්‍යම – වැදගත්ම දේ මතක තියාගන්නෙ නැහැ කියලත් අනිත් අයගෙන් බැණුම් අහනවා.
ඔය අස්සෙ වැඩ වැඩි කමට, කලබලයට දේවල් අමතක කරන අයත් ඉන්නවා. වයසත් එක්ක මතකය ගිලිහෙන බව නං ප්‍රකට කරුණක්. එක වයස් සීමාවකදි කිසිම දෙයක් මතක නැතුව යන බව අපි හොඳාකාරවම දන්නවා. යම් යම් අසනීප තත්වයන්, අධික මත්පැන් පානය සහ විශේෂයෙන්ම මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වීම නිසාත් මතකය නැතිවෙලා යන්න ඉඩ තියෙනවා.
”අපෝ! එයාට අවාසි දේවල් තමයි ඔය නිතර අමතක වෙන්නෙ…”
සමහරු ඔහොම  කියනවා අහලා තියෙනවා ද? ඒ ඔබ ගැන නං වෙන්න බැහැ, ඒත් ඇත්තටම එහෙම බොරු කරන අයත් ඉන්නවා, අපි අතරම.
ම්…කියන්න අමතක වුණා,  කෙනෙක් යම් අනතුරකට මුහුණ දීලා, යම් කම්පනයක් නිසා මතකය නැතිවෙලා යන්න පුළුවං බවත් අපි අමතක කරන්න හොඳ නැහැ.
ඔය ඔක්කොම එහෙමම තියෙද්දි, අමතක වීම අවම කර ගන්න අපට යම් යම් අත් හදා බැලීම් කරන්න පුළුවං.
ප්‍රකට විදිහක් තමයි, ආපස්සට පිළිවෙළින් මතක් කරගෙන, ඒ අමතක වෙච්ච තැන හොයාගන්න එක. ඒක හොඳ අභ්‍යාසයක්. ඊළඟට අමතක වෙන බව දැනගෙන, කල්පනාවෙන් වැඩ කරන එක.
අපට, අත්‍යවශ්‍ය දේවල් සටහන් කරගෙන මතකය සංවිධානය කරගන්න අවස්ථාවකුත් තියෙනවා. දැන් නූතන තාක්ෂණය නිසා, තමන්ගෙ ජංගම දුරකථනය පවා ඒ සඳහා යොදා ගන්න ලේසියෙන් පුළුවං.
යම් වෙලාවක් හෝ භාවනාකරන එකත් එක විදිහක හොඳ අභ්‍යාසයක්.
අනෙක, තමන් නිතර පරිහරණය කරන දේවල් ඒ ඒ තැන්වලම තියන්න පුරුදු වෙන්න. ඒක එතකොට හරිම ලේසියි.
අපි නිකමට බලමු, අමතකවීම ගැන ලියන්න අමතක වුණේ මොනවා ද? කියලා..
ම්ම්ම්…අපි අවශ්‍ය දේවල් නං කතා කරලා තියෙන්නෙ. දැන් ඉතිං හොඳ මතකයක් හදා ගන්න උත්සහ කරමු!
මතකනෙ?
අද තවත් අලුත් දවසක්!
එහෙම නං අද ඔබට හොඳට මතක හිටින සතුටුදායක දවසක් වේවි!
CHAPA