හිතවත් මහේෂ් නිශ්ශංක,
”සුරම්‍ය රාත්‍රිය” හරහා දිගු කාලයක් රුපවාහිනී ප්‍රේක්ෂක හදවත් මෘදුවට ආමන්ත්‍රණය කරමින් සිටි ඔබ, තමන්ගෙ දරුවා ට පහර දෙන මැරයෙක් සමඟ මහමග දී සටනට එළැඹ, අසරණ තාත්තා කෙනෙක් විදිහට හදිසියේම නීතියට කොටු වෙලා ඉන්න දුෂ්කර මොහොතක් මේ!
මට ඔන්න එක පැත්තකින් අර සුරම්‍ය රාත්‍රිය ට ප්‍රේක්ෂකයන් කැඳවන සොඳුරු වැඩ සටහන් මෙහෙය වන්නාත්, අනිත් පැත්තෙන්, දරු සෙනෙහසින් සලිතව නීතිය ඉදිරියේ සිටින අසරණ තාත්තාත් එකවර දැනෙන්න පටන් ගන්නවා.
මම මේ සටහන ලියන්නෙ ජාතික රුපවාහිනිය ට යාබද නිදහස් චතුරශ්‍රයේ සිට!
මතකද දවසක් මම ඔබට දුර කථනයෙන් කතා කෙරුවා? 2016 අවුරුද්දෙ මුල එක හැන්දෑවක! සමහර විට ඒ 2015 අන්තිම හරිය වෙන්නත් පුළුවන්. මම ඔබේ සුරම්‍ය රාත්‍රිය ට කැමැත්තෙන් හිටියෙ, ඒ වැඩ සටහන් ආකෘතිය සහ ඔබේ මෘදු ඉදිරිපත් කිරීම සමඟ අපට ලොකු වැඩක් කරන්න පුළුවන් කියල මට වෙලාවක හිතුණා.
”නිර්මාණ සහ නිර්මාණකරුවන් අතර වගේම ඒවා රස විඳින මිනිස්සු අතරත් බරපතළ පරතරයක් තියෙනවා…අපි එහෙම සංවාදයක් ගොඩ නගමු…”
මම ඔබට කිව්වා.
”අදහස හොඳයි…මම ඔබේ සමහර වැඩ සටහන් එහෙමත් දැකලා තියෙනවා, ම්ම්ම්ම්…ඔව්! අපි ඒ ගැන ටිකක් කතා කරමු…”
ඔබේ හිතවත් හඬ.
ඒ වෙනකොට, වෙනස් පුද්ගලයන් තෝරා ගන්නා ගීත සමුච්ඡයක් සමග ඒ ඒ පුද්ගලයන් සමඟ සංවාදයක් ගොඩ නගමින් ඔබ සුරම්‍ය රාත්‍රිය ට අපූරු හැඩයක් ලබා දෙමින් හිටියා.
”ගීතය සහ ඇත්ත ජීවිතය සසඳන්න…ඒ හරහා ප්‍රයෝගික ලෝකය විමසා බලන්න මම කැමතියි…හිතන්න මහේෂ්, මෙච්චර සුන්දර කළා නිර්මාණ බිහිවෙන සමාජයක මෙච්චර අපරාධ සිද්ධ වෙන්නෙ කොහොමද? ඒ ඒ කලාකරුවන් ගත්තත්…ඔවුන් මේ ගයන්නෙ, වයන්නෙ…එක්කො අඳින්නෙ…ලියන්නෙ තමන්ටවත් අහු වෙන්නෙ නැති ජීවිතයක් ගැන නෙවෙයි ද?”
මම ඔබට කියාගෙන යනවා, ඔබත් උනන්දුවෙන් අහගෙන ඉන්නවා.
”හරි! අපි හම්බ වෙලා කතා කරමු…කවදද මේ පැත්තෙ එන්න පුළුවන්?”
ඔබේ යෝජනාව, අපි රුපවාහිනියෙදි මුණ ගැහෙන්න.
”Good Morning මහේෂ්! මම දැන් රුපවාහිනිය කිට්ටුව…මම හරියටම 9 ට ඔතන…මම නිකමට මේ මතක් කෙරුවෙ…”
මම BMICH පටන් ගන්න හරියෙදි ඔබ ට call කෙරුවා. ඒ අපි මුණ ගැහෙන්න එකඟ වූ උදෑසන.
”හරි ගේට්ටුව කිට්ටුව ට ඇවිත් call කරන්නකො…”
යළිත් ඔබේ මෘදු හඬ.
මම ඔබ කියපු විදිහට, විනාඩි කීපයක් තුළ, රුපවාහිනී මහ ගේට්ටුව කිට්ටුව ට ඇවිත් ඔබට call එකක් ගත්තා. පිළිතුරු නැහැ. තව එකක්, පිළිතුරු නැහැ, තව එකක්, තව එකක්…
එතැන දිග වෙලාවක් වාහනය ක් තියාගෙන ඉන්න බැරි නිසා මම ආපහු නිදහස් චතුරශ්‍රය පැත්තට හෙමින් එන්න ගත්තා. තැන් තැන් වල නැවතිලා ඔබට දිගට ම දුර කථන ඇමතුම් ගත්තා.
”මම meeting එකක…”
ඔන්න ඔබේ හදිසි ප්‍රතිචාරයක්!
”මම ටිකක් වෙලා ඉන්නද? එහෙම නැත්තං වෙන වෙලාවක් දෙනවද? මහේෂ් කියන වෙලාවක මට එන්න පුළුවන්…”
මම එහෙම කියාගෙන ගියත් පටන් ගන්නකොට ම වගෙ ඔබේ පැත්තෙන් දුරකථනය විසන්ධි වුණා.
දැන් ඉතිං මොකද කරන්නෙ!? මම මගෙන් ම ඇහුවා. මොකද්ද ඇත්තට වෙන්න ඇත්තෙ!? ඒ ප්‍රශ්නයත් මට මගෙන්.
මහේෂ් නිශ්ශංක වගෙ කෙනෙක් ඇයි එහෙම කරන්නෙ?
මම තවම ත් නිදහස් චතුරශ්‍රය ළඟ කල්පනා කරනවා.
මහේෂ්! ඇත්තටම මොකද්ද වුණේ? ඇයි මෙහෙම මාව මග ඇරියෙ? ප්‍රශ්නය මොකක් වුණත් අපට කතා කරලා විසඳ ගන්න පුළුවන් කම තියෙනවානෙ!
මම එහෙම ඔබට කියන්න පස්සෙ දවස් වලත් කීප වතාවක් උත්සහ කෙරුවා, ඒත් ඔබ දුර කථනය ට ඉඩ දුන්නෙ නැහැ.
එතකොට සුරම්‍ය රාත්‍රියෙ දී මිනිස්සුන්ගෙ හිත් පිරිමදින සොඳුරු පුද්ගලයා ඔබ නෙවෙයි ද? අර ජීවිතය සොයා යන යාත්‍රිකයා ඔබ නෙවෙයි ද? මම ඔබට යෝජනා කරමින් හිටපු, නිර්මාණ සහ නිර්මාණ කරුවා අතර බරපතළ පරතරය එහෙම නං ඔබටත් අදාළද?
මම තවමත් නිදහස් චතුරශ්‍රය ළඟ!
මහේෂ්! මතකද, පවතින පොදු සමාජ තත්වයන් තුළ අපි කාගෙවත් ජීවිත සුරක්ෂිත නැහැ කියල මම ඔබට කිව්වා. මේ කුණුවෙමින් තියෙන පොදු සමාජය සුවපත් කරන්න, ඇත්ත සුරම්‍ය රාත්‍රියක් උදාවෙන්න ඕන නැද්ද? එහෙම සුරම්‍ය රාත්‍රියකට පස්සෙ නේද සුවබර අළුත් දවසකට අරුණළු වැටෙන්න වුණත් ඉඩක් හැදෙන්නෙ?
ඔබ එදා කර්කශ විදිහට මග හැරියෙ මෙන්න මේ සංකීර්ණ සංවාදය කියලයි මට නං හිතෙන්නෙ. හිතට නිදහසක් ලැබෙන වෙලාවක ටිකක් හිතන්න මහේෂ්, දැන් ඔබ ඔය අත්විඳින පියවි ලෝකය ඔබේ මෘදු වචන සීමාව ට එහා නේද? ඔන්න ඔය පරතරය අවම කරන විදිහ සොයා යන්න තමයි අපි සංවාදයක් ගොඩ නගන්න ඕන. ඔබ වැඩ කරන, රටේ ප්‍රධාන රාජ්‍ය රුපවාහිනීය ට ඒ සඳහා කොච්චර දායක වෙන්න පුළුවන් ද කියල හොඳට හිතල බලන්න, විශේෂයෙන් ම එහි වැඩ කරන ඔබ වගේ ජ්‍යෙෂ්ඨයන් ට.
මම තවමත් නිදහස් චතුරශ්‍රය ළඟ, ඒ ඔබෙන් දුරකථන ඇමතුමක් එන තුරු නෙවෙයි, සුරම්‍ය රාත්‍රිය ක් උදා වෙලා ඊට ත් පස්සෙ අළුත් දවසක ට අරුණළු වැටිලා, ඔබේ දරුවන් ට, තවත් දරුවන් ට සහ ඔවුන්ගේ නූපන් දරුවන් ට නිදහසේ ලෝකය විඳින්න පුළුවන් සුරක්ෂිත දවසක් උදා වූ බව තහවුරු කරගෙන ම ආපිට එන්න!
CHAPA, June 28, 2018
CHAPAbandara
Consultant for Media & HR
Journalist / Political Activist