මාව තෝරාගත්තා ලු!

පහුගිය 23 වැනිදා, ඒ කියන්නෙ 2017 ජනවාරි 23 හැන්දෑවෙ ටිකක් වෙනස් විදිහෙ දුරකථන ඇමතුමක් ආවා.
”මම විල්සන් කරුණාරත්න…මම ඔබතුමාගෙ වැඩසටහන් බොහොම ආසාවෙන් බලනවා…”
හුරු පුරුදු කටහඬක්. ම්…චරිත 7ක්!
” සතුටුයි…කතා කරපු එකට, මම Mr. Wilson ගෙ චරිත 7 ක් බලලා තියෙනවා, ඔබේ ප්‍රහසන කලාවට මම කැමතියි…ඉතිං…?”
ඔහු එතකොට, මට කතාකරන්න හේතුව කිව්වා. ඕස්ට්‍රේලියාවෙ ජීවත්වන ලංකාවෙ කෙනෙක්, ඔහු දන්නා කියන කෙනෙක්, දැන් ලංකාවට ඇවිත්. නම ජයන්ත ගණේගොඩ ලු. ඔහු ඉතාමත්ම වැදගත් වැඩකට මාව හම්බවෙන්න ඕන කියන නිසා තමයි මේ ඇමතුම. ඕනෑම කෙනෙක් ඕනෑම වෙලාවක හම්බ වෙන්න මම සූදානම්, මේ සංවාද වැඩබිමක්නෙ!
ඒත් මේ කවුද? මාව හම්බ වෙන්න ඕන කියන්නෙ ඇයි? ප්‍රශ්න!
මම ඒ විස්තර අහනකොට විල්සන් පැහැදිලි කරලා කිව්වෙ, ඔහුගෙ මිත්‍රයා, මම ඉදිරිපත්කරන අදහස් වලට බොහෝම කැමතියි, ඒ වැඩසටහන් බලනවා, ඔහු මේ ‘මාතෘභූමිය’ වෙනුවෙන් යමක් කරන්න ඕන කියලා හිතන කෙනෙක් කියලා. ඔහු කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති සහ ඉංජිනේරු වෘත්තියට සම්බන්ධ ඇකඩමික් චරිතයක් කියලත් තහවුරු කෙරුවා. එහෙම නං ඉතිං ප්‍රශ්නයක් නැහැනෙ, අනෙක මේ ශිල්පියා ප්‍රකට චරිතයක්නෙ! ඉතිං එහෙම නං අපි හම්බ වෙමු. මම ඒ මුණගැහීමට එකඟ වුණා.

දිනය – 2017 ජනවාරි 25, ප.ව. 4.00
තැන – ගාලු මුවදොර හෝටලයෙ ප්‍රවේශ ශාලාව ( lobby )

 
නියමිත වෙලාවට විල්සන්, ඔහුගෙ මිත්‍රයා සහ මම හමුවුණා. ඒ වනවිට මම තේරුම් ගනිමින් හිටියා, ඒ හෝටලයෙ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගී වෙන්න ඇවිත් ඉන්න අතරෙ තමයි ඔහු මේ හමුව යොදාගෙන තිබුණෙ. ටිකක් කලබලයෙන් වගෙ තමයි ඔහු කතාකරන්න පටන් ගත්තෙ.
”දැන් චාපා කරගෙන යන වැඩේ තව හොඳට කරගෙන යන්න, අපි යම් විශේෂ දැනුමක්, දැනුමක් කිව්වට එක විදිහක tool එකක් දෙන්න හදන්නෙ..”
ඔහු කියාගෙන යනවා.
”ඒ කියන්නෙ මම කරගෙන යන වැඩේ ගැන ඔබ අධ්‍යනයක් කරලා තියෙනවාද?”
”නැහැ! මම ඔය වැඩසටහන් කීපයක් වගෙ බලලා තියෙනවා…මේ tool එක ඉගෙන ගත්තට පස්සෙ ඔයා වගෙ කෙනෙකුට ලොකු දෙයක් කරන්න පුළුවං…”
”ඒ කියන්නෙ?”
”මෙහෙමනෙ…අපි ජනවාරි 8 රටේ යම් වෙනසක් වෙයි කියලා හිතුවනෙ…ඇත්තටම මමත් ඒ වෙනුවෙන් නිහඬව වැඩ කෙරුවා…යමක් වෙයි කියලා අපි හිතුවනෙ…නේද?”
”මම නං කවදාවත් එහෙම හිතුවෙ නැහැ, මම කවදාවත් කාටවත් ඡන්දය දාන්නෙත් නැහැ, මගේ දේශපාලනය ඔය සීමාවෙන් එපිට…”
”ඒත් චාපාට ඕන මේ සමාජය වෙනස් කරන්නනෙ…ඒකට මේ දේ වැදගත්..”
”ඔබ එහෙම කියන්න නං, මම දැනට නොදන්න සහ මම ඔබ ඔය කියන දේ නිසා මට අලුතෙන් දැනගන්න පුළුවං දේ පැහැදිලිව කියන්න. ඔබ ඔය කියන්නෙ දැනුම් පද්ධතියක් ගැන නං..ඒකෙ මූලය මොකද්ද කියලත් කියන්න..?”
”දැනුම් පද්ධතියක් නෙවෙයි…”
”එහෙනං?”
සාකච්ඡාව ඔහොම දිගට යනවා. ඒ අතර විල්සන් වරින් වර එක එක වැඩ වලට එළියට යනවා, එනවා. ”ඔයා දිගටම මේ සාකච්ඡාවට සහභාගි වෙන්න!” මම වගේම ඔහුගෙ මිත්‍රයාත් විල්සන් ට කිව්වා.
”අපි තේ එකක් එහෙම බීලා..හෙමින් කතාකරමු! ඔබ තුමාට වෙලාව තියෙනවා ද?” විල්සන් ඒ අතර මගෙන් අහනවා.
”එළිවෙනකං හරි කතා කරමු වැදගත් නං…” මම කියනවා. ”නෑ..නෑ…තේ බොන්න ඕන නැහැ…මම ඉක්මනට කියන්නං කො..”
අර මිත්‍රයා කතා කරනවා.
”සෙන් බුද්ධාගමත් මේකට සම්බන්ධයි, එහෙම කිව්වට ඒකම ගන්න එපා…ඇමරිකන් ටීම් එකක් එක්ක මේක කරන්නෙ, දැනට ලෝකය පුරාම අපි උපාධිධාරීන් 23 ක් හදලා තියෙනවා, අපි ඔබ තුමාව තමයි ලංකාවෙන් තෝරගන්නෙ…මේ කණ්ඩායම තමයි මේ tool එක ගැන උපරිමයට දන්නෙ..ඔයාව ඉස්සරවෙලා සිංගප්පුරුවට යවනවා දින කීපයකට…ඊට පස්සෙ ඕස්ට්‍රේලියාවට…”
”අපේ කාලය නාස්ති නොකර මම මෙහෙම කියන්නද! මම දේශපාලන විද්‍යාව, ඉතිහාසය ඇතුළු විවිධ සමාජයීය විද්‍යාවන් හදාරනවා…බුදු දහම ගැන විශේෂ උනන්දුවකුත් තියෙනවා…ඊට අමතරව මොකක් හරි දැනුම් පද්ධතියක් තියෙනවා නං කියන්න…මම විවෘතයි, අනෙක මම ඔය කිසිම රටකට ඔහොම එන්න බලාපොරොත්තුවක් නැහැ…අපිට පුළුවං මේ නුතන සන්නිවේදන තාක්ෂණය පාවිච්චි කරලා ඕන දෙයක් කරන්න…”
මම උත්තර දෙනවා. විල්සන්, මම කියන දේවල් අනුමත කරන ඉඟි බිඟි පළ කරනවා.
කෙළින්ම අරමුණ කියන්න – මමත් ඔය විස්තර දන්නෙ නැහැනෙ – ඔබ තුමා මෙතුමා මුණ ගස්සන්නම කිව්වා, මම ඒක කෙරුවා…!
විල්සන් ජයන්තට කියනවා. දැන් අමුත්තාගෙ මුණ ටිකක් අඳුරු වේගන එනවා.
”සෙන් කියන්නෙ බුදු දහමෙන් කෑල්ලක් අරගෙන හදාගත්ත ආගමික – දේශපාලන ව්‍යාපෘතියක්, බුදු දහමෙ මූලික හරය මතුකරගන්න නං ථේරවාදය ඇසුරුකරන්න ඕනෙ, ගැඹුරුම තැන් භාවිත අරුතෙන් ගන්න අභිධර්මය පුළුල් ව අධ්‍යනය කරන්න ඕනෙ, ලංකාවෙ ඒ දැනුම් පද්ධතිය තියෙනවා, අපිට පුළුවං ලෝකයටම උගන්වන්න…”
මම දැන් වැඩියෙන් කතා කරනවා.
”මේ දැනුම භාවිත අරුතෙන් වටහා ගන්න බැරි නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නෙ, සෝම හාමුදුරුවො වරද්දගත්තෙත් ලෝකය උඩින් පල්ලෙන් අල්ලන්න ගිහිං…”
” මම කියන්නෙ දැනුමක් ගැන නෙවෙයි..ජීවිතයෙ නිස්සාර බව වටහා ගන්න එක ගැන, එහෙම තේරුම් ගත්තොත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය හොරකං කරන්නෙ නැහැ, වැරදි වැඩ කරන්නෙ නැහැ…”
”දැනුම නැතුව කොහොමද ජීවිතය වටහා ගන්නෙ?  අනෙක වැරැද්ද තියෙන්නෙ පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි, එහෙම හිතෙන්නෙත් දේශපාලන දැනුම නැති නිසා…”
අන්තිමට මම නැගිට්ටා. ඒ වෙනකොට අමුත්තා වැඩිපුර කලබල වෙලා හිටියෙ, ඒ මංගල උත්සවයට ආපු එක එක්කෙනා එයාව හොයාගෙන එන නිසා.
” මම සුහද අභියෝගයක් කරනවා! ඔය කියන මහා බුද්ධිමත් විසි ගණනම ඔය කොහේ හරි තැනකට අරගෙන Skype වගෙ තාක්ෂණයක් යොදාගෙන අපි විවෘත සාකච්ඡාවක් කරමු…හැබැයි සජීව එකක්, ලෝකයටම පේන්න, දැනෙන්න.. අපි එකිනෙකාගෙ දැනුම share කරගෙන බලමු!”
”ඒක නං කියන්න අමාරුයි, එයාලා කැමතිවෙයිද දන්නේ නැහැ…try කරන්නං..”
මම ඉතිං එන්න ආවා.
”…extremely sorry! අනේ Sorry…” වෙන්වන මොහොතෙ විල්සන් දිගටම කිව්වා.
ඇත්තටම මේ ‘මොකද්ද’ ? විල්සන් ට අවශ්‍ය වුණේ මොකද්ද? අර අමුත්තා, ජයන්ත ගණේගොඩ!?
මම තවම කල්පනා කරනවා.
”මම එක දෙයක් කියන්නං…මෙතැනින් එහාට මොකුත් වෙන්නෙ නැහැ, මේ අත්දැකීමට නං මම කොහොමත් කැමතියි. ඔබට ඕන මාතෘ භූමිය වෙනුවෙන් යමක් කරන්න නං, දෙමළ ඩයස්පෝරාවෙන් ඒ වැඩේ කරන හැටි ඉගෙන ගන්න, අපිට කතා කරන්න media නැහැ, ලෝකය පුරා විසිරිලා ඉන්න එවුන්ට එකතුවෙලා බැරිද channel 4 වගෙ මාධ්‍යයක්වත් හදා ගන්න. ඔබ හිතනවා නං ඕස්ට්‍රේලියාව හරි ඇමරිකාව හරි සුරක්ෂිතයි කියල ඒක ලොකු වැරදීමක්, මුළු ලෝකයටම කෙළවෙලා තියෙන්නෙ, බලාගෙන ඉන්න!”
අන්තිමට මම හැබැයි ඔය කතාවත් කිව්වා!
ඉතිහාසයෙ තවත් එක මොහොතක්…
CHAPA