” චාපා මහත්තයා! මම….හාමුදුරුවො, මට ඔබ තුමාගෙ නොම්මරේ දුන්නෙ, යුරෝපයෙ ඉන්න මහත්තයෙක්, එතුමා මේ පන්සල කිට්ටුව, මේ දවස්වල ලංකාවට ඇවිල්ලා…!”
”එහෙමයි අපෙ හාමුදුරුවනේ!”
දුරකථනය දිගේ එන සුහද කට හඬකට මං ප්රතිචාර දක්වනවා.
”එතුමා කිව්වා ඔබ තුමා හොඳ වැඩසටහන් කරනවා කියලා…අපේ පන්සලටත් ගෙන්නවා ගන්න මං කල්පනා කරන්නෙ, විශෙෂයෙන්ම අපි ළමයින්ට කියා දෙන්න ඕන මෙ රටට වෙමින් තියෙන විනාශය ගැන!”
උන්වහන්සේ දැන් ටිකක් ආවේගශීලියි!
”ඔව්, හාමුදුරුවනේ! ඕන වෙලාවක සූදානම්! දිනය වෙලාව කතා කර ගම්මු!”
මං උනන්දුවෙන්!
”මෙහෙමයි මහත්තයා….! මං මහත්තයා කවුද කියල දන්නෙ නෑ, ඔය කියන වැඩසටහන් දැකලත් නෑ…! අපි මෙහෙම කියමුකො, දැන් ජනාධිපතිවරණයක් ළඟ එනවනෙ, කාටද අපි ඡන්දෙ දෙන්න ඕන?”
හාමුදුරුවන්ගෙ හඬ දැන් බැරෑරුම් ගතියකට මාරු වෙනවා.
”කාට ඡන්දය දීලා ජනාධිපති කර ගත්තත්, රටට එරෙහි න්යායපත්රයක් ක්රියාත්මක නිසා…මහජනතාව දැනුමෙන් බල ගන්වන්න ඕන අපෙ හාමුදුරුවනේ, ඒ සඳහා දැනුම සමාජගත කරන්න ඕන.. ඒ වගේම…”
”හරි මහත්තයා අපි කාටද එතකොට ඡන්දය දෙන්නෙ?”
හාමුදුරුවො මට බාධා කරනවා.
”කවුරු ජනාධිපති වුණත් කරන්න තියෙන්නෙ එකම වැඩ ටික, චීනය, ඇමරිකාව, ඉන්දියාව අපේ මව් බිම කොල්ල කන්න හදන්නෙ…ඒ නිසා…”
”මහත්තයා!”
ඒ පාර හාමුදුරුවන්ගෙ හඬ කේන්තියෙන් වගෙ.
”මාළිමාව නෙවෙයිද අපට එකම විසඳුම?”
වෙනස් සැර හඬකින් හාමුදුරුවො අහනවා.
”මාළිමාව කියන්නෙ රටට එරෙහි තවත් එක උපායමාර්ගයක්, හරිනි අමරසූරිය කියන්නෙ රනිල් වික්රමසිංහ හරහා ක්රියාත්මක ව්යාපෘතියක්…රටේ තත්ත්වය…”’
”මේ මහත්තයා අපි කාටද එහෙම නං මේ පාර ඡන්දය දෙන්න ඕන?”
හාමුදුරුවො උස් හඬින් කෑගහනවා.
”මාළිමාව නේද එකම ව්සඳුම?ඈ”
හාමුදුරුවො බෙරිහන් දෙනවා, මං නිහඬව අහගෙන ඉන්නවා.
”හාමුදුරුවනේ! කල්පනා කරලා වැඩ සටහන කෙරෙනවා නං කියන්නකො…”
මං කිව්වා, ”හා…හා…බලමු බලමු!” උන්වහන්සේ දුරකථනය විසන්ධි කෙරුවා.
පාඩුවෙ දවස් ගෙවුණා.
”මිස්ටර් චාපා! මං…..මාව මතකද? මං මීට පෙර කීප වතාවක් කතා කරල තියෙනවා පිට රට ඉඳන්…දැන් මං ලංකාවට ඇවිල්ලා ඉන්නෙ ටික දවසකට…අපිට ටිකක් කතා කරන්න පුලුවන්ද?”
මේ ඇමතුම ඊට දවස් කීපයකට පස්සෙ, ඇත්තටම කිව්වොත් දැන් ටිකකට කලින්.
”මට එහෙමටම මතකයක් නං නෑ, එක එක්කෙනා ඉතිං කතා කරනවනෙ, හරි අපි කතා කරමු…”
මං ඔහුට සවන් දෙන්න සූදනම් වෙනවා.
”මගේ වයස දැන් 75 ක්…මට නං කිසිම ප්රශ්නයක් නෑ, ඒත් මේ රටට වෙන දේ ගැන හරිම දුකයි…මං ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නෙ, අපි ගිය සතියෙ අපේ තාත්තා වෙනුවෙන් දානයකුත් දුන්නා, ඒ පන්සලේ හාමුදුරුවන්ට ඔබ තුමාගෙ නොම්මරෙත් දුන්නා…”
”අහ්!”
මට ඉබේම කියවුණා.
”අපි පුලුවං තරං මිනිස්සු දැනුවත් කරන්න ඕන, මමත් ඔබතුමාව ෆොලෝ කරනවා…මේ යන විදිහට අංගුලිමාල කෙනෙක් ජනාධිපති වෙන්නත් පුලුවං, නේද?”
”කවුරු ජනාධිපති වුණත් කොන්ත්රාත්තුව එකයි, මහජනතාව දන්නෙ නෑ රටට වෙන්න යන්නෙ මොක්ද්ද කියලා…අර හාමුදුරුවො නං මාළිමාවෙ…”
මං කියන්න ගන්නවා.
”මං බුද්ධාගම එක්ක ජීවිතය හදාගෙන තියෙන්නෙ, මට කිසිම ප්රශ්නයක් නෑ, හොඳ නරක පිළිබඳ මං තේරුම් අරං තියෙනවා, අංගුලිමාලත් අන්තිමට නිවන් මග තේරුම් ගත්තා…”
මට දැන් මේ පුද්ගලයා මතකයි!
”බුදු දහමයි දේශපාලනයයි පටළවන්න එපා, එක්කො නිවන් මග තෝරගෙන ඒ ගමන යන්න, එක්කො ඒ දහම තේරුම් අරගෙන, දැනට පවතින භෞතික ලෝකය වෙනස් කරන්න මැදිහත්වීම් කරන්න…අපේ රට අනතුරේ, මං දිගටම ඔබට කියනවනෙ!”
”අංගුලිමාල අපරාධකාරයෙක්…ඔහුටත් සසර අවබෝධ වුණා කියන්නෙ ඕනම කෙනෙකුට නිවැරදි පාරට එන්න පුලුවං කියන එක…නේද?”
ඔහු හිතවත් හඬකින් අහනවා.
”ඔබ මොනවා කියනවද මන්දා! කාලය අපරාදෙ!”
මගේ හඬ නොරිස්සුම්සහගත වෙලා.
”එහෙම නෙවෙයි සමහරු කියන්නෙ ජවිපෙ ඒ කාලෙ මිනී මැරුවා…බස් පිච්චුවා…අපරාධ කෙරුවා…කියලනෙ ඒ වුණාට දැන් තත්ත්වය වෙනස්නෙ…”
”හෙ හේ…! ඒ කියන්නෙ අනුර කුමාර අංගුලිමාල කෙනෙක්, කොල්ලව හදල ගම්මු කියලා?”
මං ඔහුට එහෙම කියන්න ගියෙ නෑ, දුරකථනය විසන්ධි කරලා, නිකං විනෝදයට වගෙ මේ සටහන තියනවා, එච්චරයි!
CHAPA, March 4, 2024