..ඒ අතර අලිමංකඩ වෛද්‍ය ක්ෂේත්‍ර රෝහල් ගොඩ නැගිල්ලක බිත්තියක මගේ කාටූන් සහ රේඛා චිත්‍ර පිරෙමින් තිබිණි. හිතේ කාන්සිය එළවා දමන්නට එසේ වරින් වර කුරුටු ගෑ චිත්‍ර අතර, එවර අලිමංකඩ සිටි මම කැමති අකමැති බොහෝ සගයින්ගේ චිත්‍ර ඇඳ තිබිණි. ඒවා පිරී තිබුණු බිත්තියේ අවසන් ඉඩ කොටසක මම දිනක් මගේ හිත් ගත් ඒ සෙබළ තරුණයාගේ මුහුණද ඇන්දෙමි. කාටුන් ස්වරූපයකින් ඇඳුණු එම චිත්‍රයේ මදක් ඉදිරියට නෙරා තිබූ ඔහුගේ උඩු දත් පෙළ පමණට වඩා ඉදිරියට ගෙන ඇඳ තිබෙණු දුටු ඔහුගේ මුහුණ අඳුරු වී ගිය හැටි මට හොඳින් මතකය.
” ඇත්තටම මම මෙච්චර කැත ද?”
ඔහු බිඳුණු හඬින් ඇසුවේය. මම එක මොහොතකට හිස්ව ගියෙමි.
”නෑ! මල්ලි..මම විහිළුවට ඇන්ඳේ…අනික මිනිස්සුන්ගෙ ලස්සන කැත තියෙන්නෙ පෙනුමෙ ද? ඔයා එච්චර බොළඳ නෑනෙ, නේද?”
මම ආයාසයෙන් වචන ගොනු කළෙමි.
”නෑ…නෑ…මාත් නිකං කිව්වෙ…අපි හැන්දෑවට කතා කරමු. අපේ කට්ටිය යන්න හදන්නෙ, ගිහිල්ලා එන්නං…”
ඒත් ඔහු ආපිට ආවේ නැත. වෙනත් සටන් රෙජිමේන්තුවක ප්‍රථමාධාර සහයකයා ලෙස එදින උදෑසන මගෙන් වෙන් වී ඉදිරි ආරක්ෂක වළල්ල දෙසට ගිය ඔහු ක්ෂණික එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකට ගොදුරු වී මිය ගියේය. ඒ ඔහු පමණක් නොවේ. දෙසිය ගණනක්ම එක තැන හිටි අඩියේම ආර්.පී.ජී. වර්ගයේ අවි ප්‍රහාරයකින් පිළිස්සී විකෘති වී මිය ගොස් සිටියහ. මම මගේ සෙබළ තරුණයා හඳුනා ගත්තේ, ඔහු විනෝදයට මෙන් කර පැළඳ සිටි විශාල පිත්තල කුරුසිය නිසා පමණක්මය.
”මිත්‍රයා! සමාවෙයන්!..”
මම ඔහුගේ කාටුන් චිත්‍රය යටින් ලියන්නට පටන් ගත්තෙමි.
”මිත්‍රයා! මං උඹ එක්ක තරහයි, උඹ එනව කිව්වට හැන්දෑවෙ ආවෙ නෑ මාත් එක්ක කතා කරන්න…” එහෙත් ලියවෙන්නට ගියේ අනෙකකි.
”මිත්‍රයා!සමාවෙයන්..”
ආයෙත් මුලටම!
“මිත්‍රයා! සමාවෙයන්…උඹ මැරෙන වෙලාවෙ මාත් මේ මහ පොළොවෙ උඹත් එක්ක ජීවත් වුණා. උඹ මැරෙද්දි බලන් හිටියා. මැරෙන්න ඉඩ ඇරියා, එච්චරයි!!”
CHAPA
”Army ආමි” ( 2008 ජනවාරි ) පිටු 127 – 128.