”මේ දරුවොත් දරුවො! තේරුණා ද?”

අපේ ගෙවල් පැත්තටත් සතියකට දවසක් දෙකක් වඳුරො රංචුවක් එනවා, විශේෂයෙන්ම, කතා වෙලා වගෙ සති අන්තයට.
ඒගොල්ලො ගස් උඩින් ගස් අස්සෙන් එහාට මෙහාට පැන පැන අතු රිකිළි අග්ගිස්සෙ දළු කනවා. කෙසෙල් කැනක්, පැපොල් ගෙඩියක්, අඹ ගෙඩියක් ඉදිලා තිබුණොත් ඒවත් කනවා, ගෙඩි අරගෙනත් පැනලා දුවනවා.
වහලවල් උඩින් දුවනකොට තමයි මොකක් හරි අලාභ හානියක් වෙන්න ඉඩක් තියෙන්නෙ. එහෙම වෙලාවට ටිකක් කරදර වුණාට, ඒගොල්ලො එනකොට වට පිටාවට අමුතු පණක් එන ගතියක් තියෙනවා. වඳුරු ගැටව් වඳුරු ගැටිස්සියන්ට පේන්න වැඩ දානවා, පොඩි කට්ටිය එක එක අත් හදා බැලීම්. වැඩිහිටි අය රැළේ කට්ටිය ගැන ඇහැ ගහගෙන. ඒගොල්ලන්ගෙ නායකයා කියල හිතන්න පුළුවන් කෙනෙකුත් වරින් වර ඒ අතර දකිනවා. අම්මලා බබාලා තුරුළු කරගෙන එහාට මෙහාට යන එක තමයි මරු. ඒ අම්මලාගෙ මුහුණු වල පොඩි ආඩම්බර කමකුත් තියෙනවා. බබාලා නං මාරම බබාලා. අම්මගෙ පපුවෙ එල්ලිලා යන ගමනුත් හොරාට හොරාට කිරි උරනවා.
පුදුම ආසාවකින් ඒගොල්ලො කරන දේවල් බලාගෙන ඉන්න පුළුවන්.  ඒ වුණාට, එහා වත්තෙ ලස්සනට අතු පතර විහිදුවාගෙන හිටපු ලොකු කොස් ගස් දෙකේම අතු කපලා නිරුවත් කරලා, වඳුරො ඒ දිහා බලාගෙන හුල්ලනවා කියල මට දැනෙනවා. අපේ මිනිස්සු ගස් එක්ක තියෙන වෛරය, උන් කොහොම ඉතිං තේරුම් ගන්න ද?
අද අඟහරුවාදා. ඒත් අදත් ඒගොල්ලො ආවා. අපේ වහළ උඩින් වඳුරු අම්මා කෙනෙක් බබාවත් බඩේ බැඳගෙන, ටිකක් ලොකු තවත් බබෙකුත් මෙල්ල කර කර ඉස්සරහ ජම්බු ගහට මාරු වෙනවා මම බලාගෙන. ඒ අම්මා, ”මොකද බලන්නෙ?” වගෙ බැල්මකුත් මගෙ පැත්තට දාගෙන ගියෙ.
එක පාරටම, ඒ  ළඟ ගෙදරකින් රතිඥා පත්තු කෙරුවා. ඒ, ඒගොල්ලො එළවන්න. වඳුරු රංචුව ගැස්සුණා, හොඳටම බය වුණා. එයාලට යන්න එන්න පාර හොයා ගන්න ත් අමාරු වුණා. අර වඳුරු අම්මා, බය වෙච්ච පාර, ජම්බු ගහ ලඟින් ඇදෙන විදුලි කම්බියක් දිගේ එල්ලී එල්ලී වැටි වැටී ඇදි ඇදි යන්න පටන් ගත්ත. අර අනිත් බබාත් ඒ පස්සෙන් ඇදෙනවා. ඉතාම අනතුරු දායක ගමනක්! වලිගය අනිත් කම්බියෙ තවරුණා නං ඒ ගොල්ලො එතැනම ඉවර වෙනවා. දවසක් ඒ තැනම එහෙම දුක්බර සිද්ධියක් දැකපු නිසා මම හිස් වෙලා බලාගෙන හිටියා.
තුන්දෙනාම කොහොම හරි අනිත් පැත්තෙ කොස් ගහක අත්තකට ගොඩ වුණා. ඒ අම්මගෙ මුහුණෙ, හැසිරීමෙ තිබුණු තැති ගැන්ම! එතකොටම අර රතිඥා පත්තු කරපු ගෙදර තාත්තා, එයාගෙ පුංචි පුතාව උඩ දදා හුරතල් කරනවා. අර බයේ ගැහි ගැහි දරුවත් තුරුළු කරගෙන පැනලා යන වඳුරු අම්මාව පෙන්නන්න තමයි මේ පුංචි පුතාව උඩ දාන්නෙ.
ඒ සිද්ධිය නිකම්ම නිකං සිද්ධියක් නෙවෙයි! මොකක් හරි සියුම් වේදනාකාරී හැඟීමක් හිත තුළ තවම වැඩ කරනවා.
අර වඳුරු අම්මා, අනතුරුදායක ගමන ඉවර වෙලා, කොස් අත්තට ගොඩ වෙන ගමන් තමන්ගෙ පපුවට තුරුළු වෙලා ගුළි වෙලා ඉන්න දරුවගෙ ඔළුව ඉම්ඹා, මම හොඳටම දැක්කා. ඒ ගමන් අර උඩ දදා හුරතල් කරන මිනිස් දරුවා දිහාත් බැල්මක් දැම්මා. මොකද්ද ඇයට කියන්න ඕන වෙන්න ඇත්තෙ?
”මේ දරුවොත් දරුවො! තේරුණා ද?”
ඔව්! එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. අනේ මන්දා!
මේ සටහන මෙච්චරයි. වෙන මොනවා ලියන්න ද?
CHAPA