”ආ!…කොහොමද ඉතිං?”ඔහු වෙනදා නැති ලීලාවකින් මට කතා කරන්න ගත්තා.යන එන ගමන් හදිසියකට යමක් මිලදී ගන්න, මං යන එන කඩයක් මේ. ආයෙ මොකෝ හංගන්නෙ, බත්තරමුල්ලෙ!කතා නායකයා කඩේ මුදලාලි!”ඉන්නවා ඉතිං…මට මේ…,”වැස්සකුත් ළඟ ළඟ එන නිසා කඩේට ගොඩ වුණු කාරණය කියන්න මං ඉක්මන් කරනකොට, ඔහු කවුන්ටරයෙන් නැගිටලා වෙනදා නැති උනන්දුවකින් මං ළඟට ආවා.”මේ දවස්වල මං ඔබ තුමාව නිතර දකිනවා ෆේස් බුක් එකේ…හෙ හේ…”ඔහු ඇත්තටම හෙ හේ කියල හිනා වුණේ නං නැහැ, මං ඒ මද සිනහව මගේ කර ගත්තු විදිහ, මට පුරුදු එහෙමනෙ.”එහෙමද? මං හිතුවෙ නැහැ ඔයත් ෆේස් බුක් ඉන්නවා කියලා…”ටික කාලයක් වුණත් වරින් වර එක දිගට ඔහු දකින නිසා, මං හිතුවෙ ඔහු පාඩුවේ කඩේ බලාගෙන ඉන්න සාම්ප්‍රදායිය වැඩිහිටියෙක් කියලා. ඔහු ගෙ කවුන්ටරය උඩ බණ පොත් එහෙමත් මං නිතර දකිනව.”මං ඕවා ගැන දන්නෙ නෑ මහත්තයා, උනන්දුවකුත් නෑ…දන්නැද්ද අපේ මේ ළමයි තමයි ඉතිං…”ඔහු කියාගෙන යනවා. සාමාන්‍යයෙන් ඔහු, මාත් එක්ක මෙහෙම කතා බහ කරන්නෙ නැහැ. නිහඬ කෙනෙක්. ”එහෙමද?”මට දැන් ඇති වෙමින් තියෙන්නෙ එක විදිහක කුතුහලයක්!”මං එක දිගට බැලුවා මහත්තයාගෙ විඩියෝ වගයක්…””එහෙමද?””මරු!””මෙහෙමයි ඒක වුණේ…ඔයා මේ කඩේට නිතර නිතර එනවා දැකපු අපේ මේ ළමයෙක් තමයි…මේ…පෙරේදා හැන්දෑවෙ..,මේ අරයා නේද? කියලා මට පෙන්නුවේ…මටත් පුදුම හිතුණා…””එහෙමද?”කඩේ මං හැර දැන් වෙන කවුරුවත් නෑ, ආපු වැඩෙත් අමතකයි, මං දැන් මුදලාලිගෙ ශ්‍රාවකයෙක්.”මෙහෙමයි…ඒ වැඩ සටහන් හොඳයි…කම්මැලි නැතුව එක දිගටම බලන්නත් පුළුවං…මං මේ කල්පනා කෙරුවෙ…අද කාලෙ තාක්ෂණය කොච්චර දියුණුද කියලා…ම්ම්ම්ම්”ඔහුගෙ මූණෙ පොඩි හීනි හිනාවකුත් ඇඳිලා.”මහත්තයා මෙහෙ…එතකොට එයා එහෙ…ම්ම්ම්….මහත්තයා මෙහෙ මොනවද ඉතිං කරන්නෙ?”ඔහු කතාව මැද්දෙන් ප්‍රශ්නයකුත් ඇහුවා.”මං මොනවද කරන්නෙ? නේද…”ඒ මං! හිත ඇතුළෙන්. ඒත් ඒ අස්සෙන් මුදලාලි අර කියපු ”…එතකොට එයා එහෙ…” කියපු කෑල්ල ඉස්සි ඉස්සි ඇහෙන්න ගත්තා.එතකොටම හෙල්මට් එකත් ඔළුවෙ දාගෙනම තරබාරු පුද්ගලයෙක් කඩාගෙන බිඳගෙන ඇවිත් බඩු වගයක් ඉල්ලන්න පටන් ගත්ත නිසා, මුදලාලි මට ආයාචනාත්මක බැල්මක් දාලා වෙලාව ඉල්ල ගත්තා. ඔන්න ඊට පස්සෙ…”මෙහෙමනෙ මහත්තයා…ඒ විඩියෝවල මහත්තයා ඉතාම ලයාන්විත විදිහට තමයි ඒ කාන්තාවට ආමන්ත්‍රණය කරන්නෙ…මං කිව්වෙ අපේ හිත්වල…””අහ්!”මට කියවුණා. මුදලාලිගෙ මූණට දැන් පොඩි මනමාල පෙනුමකුත් ඇවිත්.ඔහුගෙ ළමයි ඇවිත් ඔහුට පෙන්නුවා කියන විඩියෝ මොනවද කියල, ඔන්න මට දැන් තමයි තේරුම් යන්න ගත්තෙ.”ඔයා ඒ විඩියෝ ටිකද දැක්කෙ එතකොට?”මං විමසිල්ලෙන් ඔහුගෙ මූණට එබුණා.”ඇයි මහත්තයා…වෙන මොනවා හරි වැඩ සටහන් එහෙම ඒකෙ තියෙනවද…?””නෑ, නෑ, ඒවා විතරයි,,,මං මේ නිකමට කිව්වෙ?””ඒකනෙ මං බැලුවෙ, නැත්තං ඒ ළමයි මට ඒවා පෙන්නනවනෙ…මහත්තයා මොනවද කරන්නෙ එතකොට…””මොකුත් නෑ!”එතකොටම එළියෙන් ඇතුළට පැනගෙන ආපු මිනිස් හඬවල් කීපය නිසා, ඔහු විපරමෙන් ඒ පැත්ත බැලුවා, මගේ ඒ උත්තරයත් ඒ හඬවල් අතරෙ එහෙ මෙහෙ වුණා.”මහත්තයා එක්ක මෙච්චර කතා කරනවා…මං මහත්තයාගෙ නමවත් දන්නෙ නැහැනෙ…මහත්තයා එතකොට මොනවද කරනවා කිව්වෙ…මේ…අනේ මහත්තයා ඉන්න ටිකක්..”ගැහැනු පිරිමි කීප දෙනෙක් අර කලින් හඬවල් පිටිපස්සෙන්ම එක වර කඩේට ගොඩ වුණා, මුදලාලි ඒ අස්සෙ පේන්නැතුව වගෙ ගියා. මං හෙමින් එළියට ආවා. ම්ම්ම්ම්….මං මොනවා ගන්නද කඩේට ආවෙ? මොකුත් නෑ!ඈ! ඒ අර මුදලාලිට අන්තිමට දීපු උත්තරේනෙ. ම්ම්ම්ම්…කමක් නෑ, මේකටත් ඒක හරි!මොකුත් නෑ!CHAPA, Aug 30, 2019