සේකර ට කතා කරපු, අමරදේව අහගෙන හිටපු…වක්කඩේ දංඩි පැටව් ටිකත් විකුණලා..

‘අමරදේව’ අවසන් ගමන් යන මේ මොහොත වෙනකොට, ලංකාවේ මාධ්‍ය, විශේෂයෙන්ම ශ්‍රව්‍ය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය, එයිනුත් විශේෂයෙන් ම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හෙවත් රුපවාහිනී නාලිකා අමරදේව ගැන විවිධ දේ කියමින් සහ පෙන්වමින් ඉන්නව. ඔවුන් තම තමන්ගෙ නාලිකා සම්පුර්ණයෙන්ම වගෙ වෙන් කරල තියෙන්නෙ දැන් වෙනකොට ඒ සඳහා.

එය හොඳ තමයි! 

ඒත් ‘අමරදේව ලකුණ’ ට ඔච්චර කැමති නං, ඊට ඔච්චර ගරු කරනව නං සහ විශේෂයෙන්ම, අමරදේව  ‘ජාතියේ අනන්‍ය හඬ!’ ආදී වශයෙන් පිළිගන්නව නං, කොහොමද මේ රුපවාහිනී නාලිකා, ඉතාමත් ම ප්‍රාථමික, බාල සහ රටේ ජනයාගෙ – විශේෂයෙන්ම ඊළඟ පරම්පරාවෙ ප්‍රතිභාව මොට්ට කරන විදිහෙ ඉන්දියානු – දකුණු කොරියානු කසි කබල් ටෙලිනාට්‍ය, ලංකාවෙම නිෂ්පාදනය කරන කුණුහරුප විහිළු ටෙලි නාට්‍ය, ගොන් සංගීත වැඩ සටහන්, පහළ තත්වයෙ වෙළෙඳ දැන්වීම් සහ තවත් අනිත් දේවල් – අනිත් වෙලාවල් වලට තරඟෙට වගෙ පෙන්නන්නෙ.

මේකට තමයි ‘විකිණිල්ල’ කියන්නෙ!
අනේ! එහෙම නැතුව, අමරදේව ගෙ නිර්මාණකරණය තුළ තෙරපෙන, බුදු දහම, අනිත්‍ය තුළ ස්වභාව ධර්මය, රට, ජාතිය ( නූතන කියවීමක්!), ගම, දේශීය ගොවි කම, මනුෂ්‍යත්වය, ආදරය, විරහව…ගැන උනන්දු වෙලා රට ගොඩ නගන, රටට අනන්‍ය නව මාධ්‍ය සම්ප්‍රදායක් ගොඩ නගන්න කැමති වෙනව නං?!
කොරලම ගනියි! සේකර ට කතා කරපු, අමරදේව අහගෙන හිටපු වක්කඩේ දංඩි පැටව් ටිකත් විකුණලා, වක්කඩෙ ත් විනාශකරල, වන පියස කීතු කීතු කරල, ගංගා ඇළ දොළ බැකෝකරණය කරන රටක, තව ඉතිං මොන කතා ද?
CHAPA