සෝභිත හාමුදුරුවෝ සහ බෙල්ලන්විල හාමුදුරුවෝ එකම මතක සටහනක්!

2018-02-19
බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ, හදිසි අනතුරකින් හදිසියේ ම අපවත් වුණා!
මගෙ මතකය දැන් හෙමින් හෙමින් වසර 2000 දක්වා ආපස්සට යන්න පටන් ගන්නවා. මට උන් වහන්සේ මුණ ගැහෙන්නෙ ‘රාවය’ ට වැඩ කරන අන්න ඒ මුල් කාලයේ දි, හරියට ම කිව්වොත් සෝභිත හාමුදුරුවෝ සහ බෙල්ලන්විල හාමුදුරුවෝ දෙනම ම එක සමගාමීව වගෙ එදවස මට මුණ ගැහෙනවා, විවිධ ක්‍රියාකාරකම් එක්ක.

2001 දි රාවය පත්තරෙන් අයින් වෙලා, ‘නිදහස්’ මාධ්‍ය මෙහෙයුම පටන් ගන්න අතරෙත් මට ඒ හාමුදුරුවරු දෙනම ම වරින් වර මුණ ගැහුණා. හදිසියකට සාකච්ඡාවක් තියන්න අවශ්‍ය වුණාම මම නොවැරදීම ඒ පන්සල් දෙකෙන් එකක් තෝරා ගන්නවා සහ ඒ හැම වෙලාවකම කිසිම පැකිළීමක් නැතුව ඒ අවස්ථා ලබා දෙන්න ඒ හිමිවරු පියවර ගත්තා.

මුලදී, ‘නිදහස්’ වෙනුවෙන් බුද්ධි මණ්ඩලයක් ගොඩ නගන්න මම කල්පනා කෙරුවා. ඒ රැස්වීම තිබුණෙ බෙල්ලන්විල පන්සලේ උඩ තට්ටුවක පවත්වාගෙන යන කුඩා සාකච්ඡා ශාලාවක. එදා එහෙම ආරාධනා ලැබූ පුද්ගලයන් අතර, සෝභිත හාමුදුරුවෝ සහ බෙල්ලන්චිල හාමුදුරුවෝ ඉදිරියෙන් හිටියා. ඒත්, විවිධ හේතු මත ඒ ක්‍රියාවලිය දිගට ගියේ නැහැ.

මම ‘නිදහස්’ ආරම්භ කරමින් දිගට ම උත්සහ කෙරුවෙ සියලු පක්ෂ සීමාවන් අභිබවා යන වඩා දියුණු සංවාදයක් ගොඩනගාගෙන, ඒ සංවාදය ම වැඩ බිමක් බවට පත්කරගන්න. ඒ පිළිබඳව, සෝභිත සහ බෙල්ලන්විල හිමිවරු සමඟ දිගින් දිගට සකච්ඡා කරන්න උත්සහ ගත්තත්, ඒ උත්සාහයන් ඒ තරමට ම සාර්ථක වුණේ නැහැ!
‘නිදහස්’ කියන්නෙ ම කෙනෙකුට කරන්න හිතන්නවත් බැරි වැඩක්, ඒත් අපි, අවුරුදු 10 ක් පහුකරගෙන 2011 දක්වා ම වගෙ අඛණ්ඩව ඉස්සරහට ආවා. ‘නිදහස්’ කෙරුවෙ බරපතළ ආර්ථික අභියෝග මැද. අපි ඒ දවස්වල රු. 27/- ක් වගෙ ඒකක මිලකට මුද්‍රණය කරන ‘නිදහස්’ පුවත් පත, සමාජගත කෙරුවෙ රු. 20/- ට. දවසක, පිටපත් ප්‍රමාණය වැඩිවුණොත් ඒ ඒකක මිල අඩු වෙන බව අපි දැනගෙන හිටියත් එහෙම දවසක් කවදාවත් ආවෙ නැහැ. ඉතිං අලුත් කලාපය මුද්‍රණය කරපු ගමන් එය ඉක්මනින් සමාජගත කරගන්න පුදුම දුකක් විඳින්න ඕන. ඒ ඉතාම අමාරු කාලයක්!

මම පුද්ගලිකව ම, පත්තරත් අරන් සෝභිත හාමුදුරුවො සහ බෙල්ලන්විල හාමුදුරුවො මුණ ගැහෙන්න ඒ ඒ පන්සල්වලට අනිවාර්යයෙන් ම යනවා. හැම මාසයක ම අලුත් කලාපයෙන් පිටපත් 50 බැගින් අරගෙන ඒවා තවත් පන්සල්වලට යවන්න බෙල්ලන්විල හාමුදුරුවෝ කැමති කරවා ගන්න අපට පුළුවන් වුණා, උන් වහන්සේ සෑහෙන කාලයක් ඒ වැඩේ කෙරුවා. මාසයකට වතාවක් එහෙම ලැබෙන රු. 1000/- ත් අපට එදවස මාර ශක්තියක්. වරින් වර අපි කරපු පොත් පිටපතුත් ඒ හාමුදුරුවො මිලදී ගත්තා. සෝභිත හාමුදුරුවොත් ඒ විදිහටම, වරින් වර පත්තර සහ පොතක් දෙකක් මිලදී ගනිමින් අපට යම් ශක්තියක් වුණා. මුදල්වලින් ලොකු ගණන් නොවුණත් අපට එදා ලැබුණු ඒ දායකත්වය වගේම පිළිගැනීමත් අතිශය වැදගත්.
මේ සියල්ල මැද්දෙ, මට මේ හිමිවරු ගැන ප්‍රබල චෝදනාවකුත් තියෙනවා. රට මේ ගමන් කරන අයහපත් දිශාවෙන් යහපත් දිශාවකට තල්ලු කරන්න මීට වඩා යමක් ඔවුන් ට කරන්න තිබුණා. ඒ සඳහා අවශ්‍ය සම්පත් පිරුණු හොඳ වට පිටාවක් ඒ හිමිවරු දෙදෙනාට ම තිබුණා.
සෝභිත හාමුදුරුවො, අනිවාර්යයෙන්ම පවතින පක්ෂ දේශපාලනය තුළ ගොදුරක් වෙන හැටි මම පැහැදිලිව ම දැක්කා. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ සමඟ ඉඳ හිට ලැබෙන අවස්ථාවක කතා කරන්න උත්සහ ගත්තත් ඒ තරමට පුළුල් සංවාදයක පිහිටා කටයුතු කරන්න ඒ හිමියන්ගෙ සුදානමක් තිබුණෙ නැහැ.
දැනට මාසයක දෙකකට පෙර, මම සෑහෙන කාලයකට පස්සෙ බෙල්ලන්විල හාමුදුරුවන් ට දුරකථනයෙන් කතා කෙරුවා. ඒ, අපට එකතු වෙලා යමක් කරන්න පුලුවන් ද කියල බලන්න, විශේෂ හේතුවක් නැහැ, හිත යළි යළි ත් අවස්ථාවන් හොයන නිසා.
”අපි තව ටිකක් මෙහෙම බලමුකො…නේද?” කියල උන්වහන්සේ කිව්වා මට හොඳට මතකයි. ”කාලය ඉක්මනට ගෙවිල යනව හාමුදුරුවනේ, කල් ගන්නෙ නැතුව මොනවා හරි කරන්න ඕන, ඔක්කොම පක්ෂ එකතුවෙලා රට ඉවර කරනවා…” කියල එතකොට මම කිව්වා.
”ඒක නං එහෙම තමයි…” කියල උන්වහන්සේ අන්තිමට කිව්වා. අපි ආයෙත් දවසක මුණගැහිල ටිකක් කතා කරමු! කියල කතා කර ගත්තත් අර මම කියපු විදිහට ම ඉතිං කාලය ඉක්මනින් ගෙවිල ගියා!
දැන් ඉතිං ආයෙ කවදාවත් සෝභිත හාමුදුරුවෝවත් බෙල්ලන්විල හාමුදුරුවෝවත් මුණ ගැහෙන්නෙ නැහැ! අප අතර ගොඩ නැගෙන්න ට නියමිතව ඇති බව ට මම තනියෙන් කල්පනා කළ දේශපාලන සංවාදය පිළිබඳ හිස් හැඟීමකුත්, අප එකිනෙකා මුණ ගැහුණු හැම අවස්ථාවකදී ම ඒ හිමිවරුන්ගෙ මුහුණුවල තිබුණු ”පිළිගැනීමේ දයාබර සටහන්” පිළිබඳ ”හිත ට බර” හැඟීමකුත් හිතට දැනෙන අතරතුර මේ අතීත මතක සටහන ඒ හිමිවරුන් ට උපහාරයක් වේවා!
CHAPA
Feb 4, 2018