හිතවත් දිලිත් ට ලියමි!

පහු ගිය දවසක ඔබ කිසියම් සභාවක් ඉස්සරහ කරන ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පොදු අවධානයකට ලක් වෙමින් තියෙන නිසා, ඔබ ට මෙහෙම ලියන්න හිතුවා!

ආතල් එක, සිද්ධාර්ථ, බුදුන් සහ ඔබ අතර සංවාදයක් තමයි ඔබ ඒ ප්‍රකාශයෙන් ඉදිරිපත් කරන්නෙ.

කෙනෙකුගෙ කිසියම් ප්‍රකාශයක් හෝ ප්‍රකාශනයක් සංවාදයකට ගන්න පුළුවං වෙන්නෙ ඊට අදාළ වට පිටාව ට අනුකූලව. උදාහරණයක් විදිහට කෙනෙක් තව කෙනෙක් එක්ක හෝ කණ්ඩායමක් එක්ක පුද්ගලිකව කියන ‘යමක්’ සහ ඒ ‘දෙයම’ පිළිගත් සභාවක කියද්දි වෙනස් තලයක පිහිටන්න ඉඩ තියෙනවා. ඒ සභාවෙ සහභාගීත්ව සීමාව අනුව, ඊ ළඟට එය තවත් තලයකට මාරු වෙන්න පුළුවං. ප්‍රසිද්ධ සභාවක් නං ඒ දෙතුන් විදිහටම වඩා වෙනස් වෙන්න ඉඩ කඩ වැඩියි. නිර්මාණයකට අදාළව නං, එකී සංවාදය තව එහාට යනවා.

ඒ අනුව, ඔබ කරන ප්‍රකාශය තේරුම් ගන්න, යළි ඔබ ට සහ අනෙකාට සිද්ධ වෙනවා. එතකොට ප්‍රකාශය, ප්‍රකාශනය සහ ඒවා කියවීම ගැන වෙන තව සංවාදයක් කොහොමත් තියෙනවා

මේ වන විට ඔබේ ඔය කතාව සමාජ මාධ්‍ය තුළ සෑහෙන්න සැරි සරන නිසා, මං අර යෝජනා කරන, ප්‍රසිද්ධ සභාවක ආකෘතියකට අරං ඒ ගැන යමක් ලියන්නයි මේ හදන්නෙ.

ඔබේ කතාවෙදි ත් කියන හැටියට, ඔබ ගමෙන් කොළඹ ට ඇවිත්, පොඩියට පටන් අරගෙන දිග ගමනක් යන දක්ෂ සහ සාර්ථක – විශේෂයෙන් ම නිර්මාණශීලී ව්‍යාපාරිකයෙක්. එතකොට ව්‍යපාරික ලෝකයට හෙවත් ධනවාදී ආකෘතිගතවීමකට අනන්‍ය සියළු යහපත් සහ අයහපත් දේ ඔබ හිමි කර ගන්නවා සහ ආපිට ඒවා සමාජයට මුදා හරිනවා. ඒ වෙන සංවාදයක්. 

ඊ ළඟට ඔබේ සතුට ගැන ඔබ කියන කතාවත් හරි ඇති. ඔබ ඒකට කියන්නෙ ‘ආතල් එක’ කියල, පුද්ගලයාගෙන් පුද්ගලයාට සතුට හෙවත් ඔබ කියන ආතල් ගැනීම වෙනස් සහ අනන්‍ය වෙනවා. ඒ ගැන තර්ක කරන එකේ තේරුමක් නැහැ. එකක්! මං යම් තරමකට හෝ දන්න දිලිත් ජයවීර හෙවත් ඔබ සහ ඔය ස්වයං හඳුන්වා දීම අතර පරතරයක් නැහැ කියල මමත් හිතවනවා. 

ඔව්! ඔය තමයි ඔබ!

මං මේ සටහන තියන්නෙ, ඒ සියල්ල අතරින්, ජීවිතය, සතුට ( ආතල්?) සහ බුදු දහම ගැන ඔබ ඉදිරිපත් කරන සරල විස්තරය පුළුල් සංවාදයකට ඔසවා තබන අරමුණෙන්.

(උපුටා දැක්වීම)

”සිද්ධාර්ථ, මේ ගස් වලට ගල් වලට වඳින සතුට සොයමින් මේ මිනිස්සු යන අඳුරු මාර්ග වෙනුවට, ඊට වඩා ප්‍රායෝගික, අද අපේ භාෂාවෙන් ගත්තොත් විද්‍යාත්මක දර්ශනයක්, අදහසක් ඉදිරිපත් කළා, මගෙ විශ්වාසය, අපි සියළු දෙනාට අද සතුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා, ප්‍රීතිමත් බව ප්‍රශ්නයක් වෙලා තියෙනවා, happiness කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මං හිතන්නෙ මේ සියළු දේට විසඳුම තියෙන්නෙ මේ සිද්ධාර්ථ විසින් සොයා ගන්නා ලද සරල සංකල්ප. ඒක තව දුරටත් ගෙනිහිල්ලා, දාර්ශනික මාවතක ගෙනියන්න ඕනෙ නං ඒ සතුට සඳහා අභිධර්මය මාර්ගයෙ යන්න පුළුවං, නමුත් අපිට ආතල් එකේ, අර කිව්වා වගෙ ඉන්න ඕන නං, ආතල් concepts තියෙන්නෙ, Buddhism වල, ඒ සිද්ධාර්ථ හිතපු විදිහ! (…….) සිද්ධාර්ථ වගෙ වැඩියෙන් ආතල් අරගෙන…මං හොයාගෙන තියෙනවා, මේ දුක පිළිබඳ කතාවක් නෙවෙයි…සිද්ධාර්ථ කිව්වෙ, සැප පිළිබඳ කතාවක්, මම දකින සිද්ධාර්ථ නං දිගින් දිගටම ආතල් එකේ හිටපු පුද්ගලයෙක්, ඔය කියන බුද්ධ චරිතය පවා, මම දකින්නෙ…ඒ තමන්ගෙ happiness එක සඳහා කරපු process එකේ result එකක් හැටියට, ඒ කරපු දේ ප්‍රතිඵලයක් හැටියට…අනිත් අයටත් මේ සංකල්පය ලබා ගන්න අවස්ථාව ලැබුණා…”( උපුටා දැක්වීම අවසන්)

බුදු දහම දර්ශනයක් නෙවෙයි. එය ප්‍රත්‍යක්ෂ අරුතෙන් වටහා ගත යුතු විද්‍යාත්මක ( විශ්ලේෂණාත්මක ) දැනුම් අවකාශයක්. ජීවිතය හරහා විශ්වය කියවමින් සියල්ල අනිත්‍ය බව පසක් කර ගැනීම තමයි එහි අරුත් ගැන්වෙන සතුට. කිසිවක් නොපතින නිසා සහ ඒ නොපවතින දේ හා අපි බැදෙන නිසා අපට සියල්ල දුකක් බවට පත් වෙනවා. දුක, දුක ඇති වීමට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය! ක්‍රියාවලියක් විදිහට තේරුම් ගන්න වෙන්නෙ ඒ නිසයි. ඒ තමයි සතුටේ මාර්ගය. මූලිකම අවදියේ දි වුණත්, ”ඒ සතුට” එකවිදිහක හිතේ සිදුවන ප්‍රතිසංවිධානයක්, මානසික අවධියක් – නමුත් ක්‍රියාදාමයක්. 

කිසි සේත්ම ඇති වී නැති වී යන සිතුවිලි හෝ රසායනික වෙනස් කමක් නෙවෙයි. ඔබ ඔය කියන සතුට හෝ ආතල් එක අන්න ඒ වගෙ එක මොහොතකට අදාළ යමක්! 

අපට වචන එක්ක හරඹ කරන්න බැරි වුණත්, ඔබ ඔය කියන Buddh – ism කියන්නෙ, බුදුදහම ට පදනම් ව පසුව හැදෙන යම් ආගමික ආකෘතියක්, සිද්ධාර්ථ සාධකයත් වෙනම නිර්මාණශීලීව අරගෙන ඒ ආගමික ආකෘතිය ඇසුරු කරමින් යම් යම් සංකල්ප, විශේෂයෙන් marketing concepts හදා ගන්න පුළුවං වුණත්, ඒ ජීවිතය ට අරුත් සපයන සතුට හොයන ක්‍රම වේදයක් නං නෙවෙයි. එහෙම උත්සහ කරන්න කරන්න, ජීවිතය වගේම එහි සතුට ගිළිහෙනවා, ලැබෙන වේගයෙන් ම!

අපි මේ ගැන ටිකක් නිවී සැනසිල්ලෙ ඕන නං කතා කරමු!

CHAPA

April 6, 2019




Leave a Reply

Your email address will not be published. Required fields are marked *