උසාවිය නිහඬ යි! අපි ට ඇත්තටම මොනවද ඕනෙ?

2018-02-18
ප්‍රසන්න විතානගේ ගෙ ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටය මේ වන විට අධිකරණ නියෝගයකින් වාරණය ට ලක් වෙලා. ජන මාධ්‍ය සමාජය තුළ ඒ පිළිබඳ යම් සංවාදයකු ත් ගොඩ නැගෙමින් තියෙනව. ඒ අතරෙ, මේ සටහන තියන්නෙ එකිනෙකට සම්බන්ධ ප්‍රධාන කරුණු දෙකක් මත. එකක්, සමාජ ප්‍රගමනයට මෙවැනි නිර්මාණ මැදිහත්වීම් අවශ්‍යය යි වගෙම ඒ මත ඇතිවෙන්න පුළුවං යහපත් සහ අයහපත් සමාජ බලපෑම් පිළිබඳ පුළුල් සංවාදයක් ද ඒ සමග ම අවශ්‍ය බව පිළිගන්න එක. අනෙක, මේ සිනමා නිර්මාණයට අදාළ සිද්ධි මාලාව ට සම්බන්ධ ‘රාවය’ මාධ්‍ය භාවිතයට යම් පමණක හෝ දායකත්වයක්, මාධ්‍ය කරුවෙකු ලෙස පුද්ගලිකව ලබා දී තිබීම. අදාළ සිනමා කරු ප්‍රසන්න විතානගේ ගෙ පොදු නිර්මාණකරණය ට සම්බන්ධ තවත් සිද්ධියක ට තවත් තැනක දි ‘නිදහස්’ මාධ්‍ය ආයතනය හරහා පුද්ගලික ව සම්බන්ධ වීමත් ඕන නං තවත් කාරණයක් හැටියට ගන්න පුළු වං.
මුලින්ම අවධාරණය කරන්න ඕනෙ, නිර්මාණකරණයෙ නිදහස වෙනුවෙන් මම කොදේසි විරහිතව පෙනී හිටිනව, මම ත් කොටසක් ව පවතින ඓතිහාසික දේශපාලන සංවාදය ඇතුළෙ. මේ පෙනීහිටීම ත් ඊට අදාළ යි!

අපි දැන් ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටය ට හැරෙමු. එහි කේන්ද්‍රීය අත්දැකීම, හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක කේන්ද්‍ර කරගත් සත්‍ය සිදුවීම් පෙළක්. ඒ සිද්ධිය වෙනුවෙන් ‘රාවය’ හිටපු ප්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් මෙන් ම ඔහු මෙහය වූ තවත් මාධ්‍ය කරුවන් සහ වෙනත් පුද්ගලයන්, මාධ්‍ය භාවිතා කරපු විදිහ පර්යේෂණාත්මක යි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දේශපාලන අවකාශය තුළ එය ඓතිහාසික යි. මේ සිද්ධිය අවසානයෙ දි, විනිසුරු සරත් නන්ද සිල්වා, අග විනිසුරු කෙරෙන චන්ද්‍රිකා දේශපාලන ඉතිහාසය (?) දක්වාම පෙළ ගැහෙනව. අයිවන් ගෙ ‘නොනිමි අරගලය’ සහ ‘චෞර රැජිණ’ කෘති පරිස්සමට කියවන කෙනෙකුට ඒ පිළිබඳ නිරවුල් අදහසක් ගන්න පුළුවං.

මම ‘රාවය’ ට සම්බන්ධ වෙන්නෙ ඔය ක්‍රියාන්විතයෙ තීරණාත්මක ම හරියෙ දි, පුළුවං හැම තැනකදිම ඒ මාධ්‍ය ක්‍රියාන්විතය වෙනුවෙන් මම ත් පෙනී හිටිය. විශේෂයෙන් ම එදවස ඉතා ජනප්‍රිය සහ ප්‍රබල TNL ‘ජනහඬ’ සහ වෙනත් වැඩ සටහන් හරහා මම ත් ඒ වැඩපිළිවෙළ ශක්තිමත් කෙරුව. එළියෙ විරෝධතා දක්වා වූ ක්‍රියාකාරකම් වලත් පුළුවං විදිහට හිට ගත්ත. හැබැයි, එදත් – අදත් නොවිසඳී තියෙන ඉතා සංකීර්ණ සහ බරපතළම ප්‍රශ්නය තමයි, ‘රාවය’ වටා ගොඩ නැගුණු ‘ඒ’ මාධ්‍ය භාවිතය පිටිපස්සෙ තියෙන දේශපාලනය ‘මොකද්ද’ කියන එක. එය චන්ද්‍රිකා සහ අයිවන් අතර පුද්ගලිකව නිර්මාණය වුණු විරසකය ක මානසික පුපුරා යෑමක් ද ? එය එසේ නං යෝජිත දේශපාලන ප්‍රගමනය සඳහා එය කොහොම බලපායි ද? නොඑසේ නං එය, බැලූ බැල්මට ම පෙනෙන විදිහෙ යහපත් සහ සමාජමය අභිලාශයක ප්‍රතිඵලයක් ද? මගෙ පුද්ගලික අත් දැකීම අනුව, තමන් ට අවැසි ඕනෑම දෙයක් නිර්භීතව විවේචනය කරන අයිවන්, තමාව විවේචනය කෙරෙනව ට, ප්‍රශ්න කෙරෙනව ට කැමති නැහැ. ඒ වගෙම, ඔහුගෙ දේශපාලනය තුළ එක්තරා ආකාරයක ‘පුද්ගලික’ බවක් මම දකිනව. මේ ගැන මම ‘රාවය’ ට සාක්ෂිය ක් කෘතිය පුරා ම කතා කරනව. සංවාදය තවම විවෘත යි.

එහෙම ගත්තොත් ‘උසාවිය නිහඬයි’ චිත්‍රපට කතාවෙ පදනම ආපිට ප්‍රශ්න කරන්න අපිට සිද්ධ වෙනව.
ඊ ළඟට ප්‍රසන්න! ඔහු ත් අයිවන් වගෙම දක්ෂයෙක්, සිනමා භාවිතය තුළ හොඳ පර්යේෂකයෙක්. ඔහුගෙ නිර්මාණකරණය වෙනුවෙන් මම පෙනී හිටිනව. ඒත් අයිවන් ට අදාළ, ‘භාවිතයෙ අභිලාෂය’ ප්‍රසන්න ට ත් අදාළයි!
මම, ප්‍රසන්න එක්ක වැඩ කරල නැහැ. එත් මගෙ ආරාධනාවක ට අනුව දවසක් ඔහු නුගේගොඩ තිබුණු ‘නිදහස්’ කාර්යාලය ට අවා. අපි දීර්ඝ වෙලාවක් විවිධ දේ ගැන සාකච්ඡා කෙරුව, එය සොඳුරු මුණ ගැහීමක්.
පස්සෙ කාලයක, ප්‍රසන්න ගෙ ‘අකාස කුසුම්’ චිත්‍රපටය සමාජ ගතවන දවස්වල, දවසක සේපාල් අමරසිංහ ‘නිදහස්’ කාර්යාලයට ආව. ඔහු ඒ චිත්‍රපටය ගැන විවේචනාත්මක පොතක් ලියල. ඔහු කිව්ව, කව්රුවත් ඒ පොත මුද්‍රණය කරන්නෙ නැහැ, ප්‍රසන්න එපා කියන නිසා කියල. මම වැඩේ භාරගත්ත ‘නිදහස්’ මුද්‍රණ සම්බන්ධතාව හරහා කරන්න. සේපාල් ගෙ කැමැත්ත මත පොතේ කවරයෙ ඇතුල් පැත්තෙ සටහනකු ත් දැම්ම, ඒ පොත විකිණීමෙන් ලැබෙන කිසිම මුදලක් ‘නිදහස්’ අපි ගන්නෙ නැහැ කියල. සේපාල් ගෙ පොත මුද්‍රණය කරන අභියෝගය එහෙම භාර ගත්තෙම භාෂණයෙ නිදහස වෙනුවෙන්. ඊට ආසන්න දවසක, ප්‍රසන්න මට දොස් කිව්ව, කිසිම පදනමක් නැති කතා වගයක් කියමින් මගෙ මාධ්‍ය භාවිතය ප්‍රශ්න කරමින්. ඔහු කේන්තියෙන් හිටියෙ අර පොත මුද්‍රණය කරපු එක ගැන. මම තකහනියක් ඔහු හොයාගෙන ඔහුගෙ ගෙදරත් ගිහිං මේ ගැන කරුණු පැහැදිළි කෙරුව. මට කියන්න ඕන වුණෙ, භාෂණයෙ නිදහස වෙනුවෙන් මම කොන්දේසි විරහිතව පෙනී ඉන්නව කියල. ලෝකය වඩා යහපත් අතට හරවන්න නං ඒ විවෘත දේශපාලනය ඕනෙ! ඒත් ඒ සංවාදය තවම ඒක පාර්ශවීය ව මග හිටල තියෙනන්නෙ.

අපි දැන් කොහෙන් ද පටන් ගන්නෙ?
යුක්තිය, සමාජ සාධාරණත්වය, නීතිය – නීතියෙ ආධිපත්‍ය, බලය – පැවැත්ම, ජීවිතය..
උසාවිය නිහඬ නං අපි පටන් ගම්මු!
අපි ට ඇත්තටම මොනවද ඕනෙ?
CHAPA
October 14, 2016