ඔව්! උඹලා ට ආයෙ ආයෙ පරදින්න දෙන්න බැහැ!?

SAITM විරෝධී අරගලය, මේ වන විට, ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය වෙනස් කිරීමේ හැකියාවක් තිබෙන මහා ජව සම්පන්න ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩ නගා තිබෙනවා. එය ඉතිහාසය තුළ, එක විදිහක තීරණාත්මක කඩ ඉමක්.
SAITM දැන් තව දුරටත්, මේ අරගලය තුළ එක ආයතනයක් නෙවෙයි, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් කෙටි කාලීනව සහ දිගු කාලීනව පෙනී හිටින වඩා පුළුල් දේශපාලන ක්‍රියාවලියක තේමාවක්!
ප්‍රංශ ඉතිහාසයෙ, 1229 දක්වා වූ කාල තීරුව ට ආපස්සට විහිදෙන, විශ්ව විද්‍යාල ශිෂ්‍ය නැගිටීම් පිළිබද ඉතිහාස කතාවෙ ත්, මේ SAITM විරෝධී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය, අතිශය වැදගත් පරිච්ඡේදයක් සටහන් කරනවා. පැහැදිලි අරමුණ, සංවිධානාත්මක බව, පොදු බව, අඛණ්ඩ බව සහ නිර්භීත බව; මේ ශිෂ්‍ය පෙරමුණ තුළ, මේ වනවිට, ඕනවාටත් වඩා ඔප්පුවෙලා ඉවරයි.
ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භය ක් තුළ නං, ආණ්ඩුව සහ සමස්ත රාජ්‍ය තන්ත්‍රය ත් – දැනටම ත් මේ ශිෂ්‍ය බලය ඉදිරියෙ දණ නවලා ඉවරයි. එහෙම ගත්තොත් ලංකාව තුළ මේ ගෙවෙන්නෙ, ඓතිහාසික දේශපාලන සංක්‍රාන්ති කාලයක්. නීතියෙ ආධිපත්‍ය ට එල්ලවන මේ ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගය භාරගන්න, ආණ්ඩුව සහ එහි ස්වාමියා වූ රාජ්‍ය අසමත් වෙනවා. ඒ නිසා ම, ඊළඟට ඔවුන් දැන්, ශිෂ්‍ය නායකයන් ට එරෙහිව, ඒකාබද්ධ ව ඉතාමත් ම ප්‍රාථමික සහ දුර්වල දඩයමක යෙදෙමින් ඉන්නවා. ඒ සඳහා නීතිය අවභාවිත (?) කරමින් ඉන්නවා. නීතියෙ ආධිපත්‍ය, ත්‍රස්තවාදයක් බවට පත් කරමින් ඉන්නවා.
මේ ඓතිහාසික දේශපාලන තත්වය අපි – පොදු ජනයා හැටියට වඩා නිවැරදිව කියව ගත්තෙ නැත්තං, එය සහාසික දේශපාලන වැරද්දක් – අපරාධයක් වෙනවා විතරක් නෙවෙයි යළි පහසුවෙන් නිවැරදි කළ නොහැකි දේශපාලන ඉරි තැලීමකට ත් අනිවාර්යයෙන් ම හේතු වෙනවා.
අනිත් පැත්තෙන්, මේ යෝධ ශිෂ්‍ය ව්‍යාපාරය පිටුපස වරෙක ජනතා විමුක්ති පෙරමුණ සහ ඊළඟට එහිම දිගුවක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ක්‍රියාකාරී සහභාගීත්වයක ඉන්න බව රහසක් නෙවෙයි. යම් යම් එකඟතා සමඟ ඒ පක්ෂ දෙකම – ඒ සඳහා එකට වැඩ කරන විදිහකුත් හැදිලා තියෙනවා. මේ සියල්ල, ඓතිහාසික සාධනීය තත්වයන්.
ඊට අමතරව, විශ්ව විද්‍යාල ගුරු සංගම්, රජයේ වෛද්‍ය නිලධාරීන් සහ තවත් වෛද්‍ය කණ්ඩායම්, විවිධ වෘත්තීය සමිති සහ දෙමාපිය සංවිධාන වගෙ ජන සංවිධානගතවීම් වගේම විවිධ පුද්ගල මැදිහත්වීම් නිසාත්, මේ SAITM විරෝධී ශිෂ්‍ය ව්‍යාපාරය වඩා පුළුල් ව, වර්ණවත් වෙලා  තියෙනවා.
මේ සියල්ල මෙහෙම වෙන්න අනිවාර්යයෙන් ම හේතු වෙන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂය. ජවිපෙ ට කවදාවත් බැරිවුණු ”පොදු අරගල වේදිකාවක්” SAITM පාමුළ ඉදිකරන්න ඔවුන් ප්‍රශස්ත විදිහට සමත් වෙනවා. SAITM විරෝධී අරගලය ට සම්බන්ධ වෙන්න, පුද්ගලික ව මටත් අවස්ථාව ලැබෙන්නෙ අන්න ඒ විදිහට.
දැන් මේ ඓතිහාසික දේශපාලන සන්දර්භය තුළ මතුවන, ඉතාමත් ම වැදගත් සහ බරපතළ ම ප්‍රශ්නය තමයි, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය තුළ, විශ්ව විද්‍යාල ශිෂ්‍යා ගෙ ‘ඉරණම(?)’ මොකද්ද? කියන එක. ලෝක ඉතිහාසය තුළ, ගෙවී ගිය සියවස් ගණනාව තුළ ම, මේ මාරාන්තික ප්‍රශ්නය, ”නොඅසන ප්‍රශ්නය!” ක් සේ හිර වෙලා. මරා දැමීම්, වද හිංසාවන් ට ලක් කිරීම් සහ සිර ගත කිරීම් අතර දේශපාලන සැමරුමක් පමණක් බවට පත්වන, වයස විසි ගණන්වල ( හෝ අරගලය ට ගෙවුණු නිසාම ඊට මදක් වැඩි! ) අති බහුතරයක් වූ ප්‍රධාන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් ගෙ ”වරෙව්! සටන් කරමු! සටන හැර වෙන තෝරා ගැනීමක් නැහැ!” යන නිර්භීත හෘද සාක්ෂියෙ දෝංකාරය! ඔව්! අපට එක දිගට ඇහෙනවා. ඒ හඬ ඊළඟ ශිෂ්‍ය පරම්පරාව ට ජවය සහ බලාපොරොත්තු ලබා දෙනවා. ගමන දිගටම, හැමදාම! එක වගේම!
මේ අතර, ඒ ඒ දේශපාලන පක්ෂවලට අනුගතව, පුර්ණ කාලීන ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් පිරිසකුත් හැදෙනවා. ”ධනවාදී ක්‍රමය තුළ, ඊට අදාළ වෘත්තිකයො වෙලා වැඩක් නැහැ! ඒ අධ්‍යාපනයෙන් ධනවාදය ශක්තිමත් වෙනවා විතරයි! ඒ නිසා අපි අධ්‍යාපනය වෙනුවට, පවතින අසාධාරණ ක්‍රමය ට විරුද්ධව පුර්ණ කාලීනව සටන් කරනවා!” කියල ඔවුන් කල්පනා කරනවා. ඒ ඒ පක්ෂත් එහෙම හිතනවා වගෙ.
මේ තත්වය ඉතාම බරපතළයි සහ සංකීර්ණයි!
එක පැත්තකින්, මේ තත්වය තුළ ම යෝජිත අරගලය දුර්වල වෙනවා, ඒ ඒ පුද්ගලයන් ගෙ පෞර්ෂය සහ ඊටම අදාළ පුද්ගල මනෝ භාවය ඇතැම් විට නොදැනීම යෝජිත දේශපාලන ක්‍රියාවලිය හකුළුවා දාන්න හේතු වෙන්න පුළුවන්. ඊළඟට ඔවුන් වටා මෝදුවන සංකීර්ණ සමාජ ප්‍රශ්න! මේ මාරාන්තික අභියෝගය ජය ගන්න නං අපි – අපේ මේ අරගල මාදිලිය තව සංවර්ධනය කරන්න ඕනමයි.
මෙතැන, පොදු  සහ පුද්ගලික ප්‍රශ්න දෙකක් එකට බද්ධ වන අර්බුදයක් නිර්මාණය වෙනවා. උදාහරණයක් විදිහට, මේ පවතින ධනවාදී ක්‍රමය ට අදාළ, ලාංකේය දේශපාලන විකෘතිය ට එදිරිව හිට ගන්න හයිය තියෙන වෛද්‍යවරු, විශ්ව විද්‍යාල ආචාර්යවරු ප්‍රමුඛ වෘත්තිකයො පරපුරක් ඕන. ඒ විදිහෙ උගත්  – බුද්ධිමත් දේශපාලන  නියෝජිතයො ඕන. ඉතිං කෝ?
මේ අරගල භුමිය අන්න ඒ මහා මෙහෙයුමට යොදාගන්න කියන එකයි මගෙ මේ යෝජනාව.
වසර 2000 ත් එක්කම, ඒ අසන්න කාලයෙදි, රුහුණ, සබරගමුව සහ රජ රට කියන විශ්ව විද්‍යාලවල විවිධ සංවාද වලට සහභාගී වෙන්න මට ත් අවස්ථාව ලැබුණා. එදා මට මුණ ගැහුණු අවුරුදු විසි ගණන් වල ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ටත් මම මේ කතාව කියමින් හිටියා. ඔවුන් ට දැන් වයස හතළිස් ගණන්. හිතන්න! එදා ඔවුන් මේ දේශපාලන සංවාදයට ඇතුළු වුණා නං, මේ වෙනකොට රටේ අර්බුදය මෙහෙම දුර දිග යන්නෙ නැහැ. හේතුව, ශක්තිමත් ජනතාවාදී වෘත්තිකයන්ගෙ පවුරක් රට වටේ හැදිලා. ඒ කාලය තුළ ජවිපෙ ඉතාම අදේශපාලනික විදිහට ඊට හරස් කැපුවා, මගෙ ඒ පුද්ගලික අතීත අත්දැකීම් හරිම තිත්තයි.
කොහොම වුණත් දැන් කරන්න ඕනෙ මෙන්න මේකයි!
පන්ති වර්ජනය කරලා ඉන්න හය දහසකට වැඩි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වහාම පන්තිවලට සහභාගී වෙන්න ඕනෙ. ගුරුවරු වහාම උගන්වන්න පටන් ගන්න ඕනෙ. මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් වහාම ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ගුරු – ශිෂ්‍ය දෙගොල්ල එකතුවෙලා, අතිරේක පන්ති සහ විශේෂ වැඩමුළු හරහා මග හැරුණු අධ්‍යන කාලය වහාම ආවරණය කරන්න ඕනෙ. විශ්ව විද්‍යාල ප්‍රධානීන් සහ අදාළ කාර්ය මණ්ඩල,වඩා වේගවත් සහ කාර්යක්ෂම පරිපාලනයක් ආරම්භ කරන්න ඕනෙ. මේ සියල්ල හරියට සිද්ධ වෙන්න, අපි හැමෝම ආණ්ඩුවට බල කරන්න ඕනෙ, ඒ සඳහා ත් විවිධ ක්‍රියාකාරකම් අවශ්‍ය වෙයි.
ඔන්න දැන් මේ අතරෙ, මෙතෙක් කරගෙන ආපු සියළු විරෝධතා, වඩා සංවිධානාත්මකව ඉස්සරහට ම යනවා. උදාහරණයක් විදිහට පන්තිවලට යන අතර පෙළපාලි යනවා, කණ්ඩායම් විදිහට උපවාසත් කරනවා, මාරුවෙන් මාරුවට අට්ටාල උඩත් ඉන්නවා, තවත් අලුත් ක්‍රියාකාරකම් හොයා ගන්නවා. එක හොඳ වැඩක් තමයි විරෝධය පෙන්වන්න ‘කළු’ පාට විතරක් අඳිනවා, කළු පටි පළඳිනවා.
ඊට සමගාමීව, රට පුරා සම්මන්ත්‍රණ, වැඩ මුළු සහ සංවාද තියමින්, අරගලය වඩා විද්‍යාත්මකව සමාජ ගත කරනවා.
වඩාම අවශ්‍ය දේ තමයි, මේ අපේ මෝඩ ඊනියා පාලක රැළ මෙහෙයවන ඊනියා ජාත්‍යන්තර මහමොළකාරයො එක්ක, කරට කර හැප්පෙන එක. උන්ගෙ ආර්ථික සංහාරය ගැන ලෝකයට කියන එක. උන්ට එදිරි විදේශ රටවල තවත් දේශපාලන කණ්ඩායම් එක්ක සම්බන්ධ වෙන එක. කොටින්ම, මේ අරගලය ‘ජාත්‍යන්තරකරණය’ කරන එක.
ඒක කරන්න නං උන්ට වඩා ‘දැනුම’ අපට ඕනෙ!
මතක තියා ගනිල්ලා! රටේ කොල්ලො කෙල්ලො ඉගෙන ගන්නෙ නැති එකට අපේ වනචාරී පාලකයො සහ උන්ගෙ විදේශ ආර්ථික ඝාතක හාම්පුත්තු මාර ආසයි! වැදගත්ම දේ, අන්න ඒ, උන් ලබන කාලකන්ණි සතුට නැතිකරමු! දැනුමෙන් සන්නද්ධව උන් එක්ක හැප්පෙමු!
‘උන්’ පරාජය කරන ‘අපේ’ ඓතිහාසික අරගලය තීරණාත්මකව ජයග්‍රහණය කරන්න නං, කොල්ලනේ – කෙල්ලනේ වෙන කෙටි පාරක් නැහැ! ඔව්! උඹලා ට ආයෙ ආයෙ පරදින්න දෙන්න බැහැ!
මම දකින සිහිනය නං අන්න ඒකයි!
CHAPA