මුළු ලෝකයටම නිරාවරණය වුණු, හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගෙ බැඳුම්කර ක්‍රීඩාව සාධාරණීකරණය කරමින්, අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරමින් ම, සුජීව සේනසිංහ ලියා සමාජගත කරපු ‘ඇත්ත නැත්ත’ කෘතිය කොහොමද අපි අමතක කරන්නෙ? හැබැයි ඔය පොත ‘ඇත්ත’ වෙලා COPE වාර්තාව ‘නැත්ත’ වෙයි ද? බැරි වෙලාවත්! 

ඔය ප්‍රශ්නය අපි ඉස්සරහට යළි යළිත් පැනගෙන එන්නෙ COPE ක්‍රියාවලිය තව ම අවසානයකට ඇවිත් නැති නිසා, ඒ විතරක් නෙවෙයි ඒ කමිටු ක්‍රියාකාරිත්වය ගැන බරපතළ සැකයක් දැනටමත් ජනයා (?) අතර ගොඩ නැගෙමින් තියෙන නිසා. ආසන්නත ම තත්වය තමයි එකිනෙකට ප්‍රතිවිරුද්ධ නිගමන ඉදිරිපත්කරන වාර්තා කීපයක් අවසානයෙදි එළි දක්වන්න ඒ කමිටුව සුදානම් වෙනව කියන එක.
එහෙම එක එක වාර්තා හදන්න පුළුවං ද? එහෙම හදන ක්‍රමවේදය මොකද්ද? කමිටුවකට, විශේෂයෙන්ම මේ වගෙ ප්‍රබල කමිටුවකට!

කාරණය පැහැදිළි යි! විශේෂයෙන් ම අගමැති රනිල්ගෙ උවමනාව ට ( ආණ්ඩුවෙ අනිත් අයට අර්ජුන් මහේන්ද්‍රන් සාධකය මේ වෙලාවෙ එච්චර අදාළ නැහැ! ) මේ COPE ක්‍රියාවළිය යටපත් කරන්න අවශ්‍ය පසුබිම දැනටම ත් හැදිල ඉවරයි. නියෝජ්‍ය අධිකරණ අමාත්‍ය ධූරය ඇපයට තියල, හෑල්ලුවට ලක් කරල, සුජීව සේනසිංහ ඔය ‘ඇත්ත නැත්ත’ ලියල, රෝසි සේනානායක වගෙ අය මල් පෝච්චි විදිහට අරගෙන මාධ්‍ය සංදර්ශනයක් තිව්වෙ ඒ කළු  ක්‍රියාන්විතය ට අදාළව තමයි.

අපි දැන් බලමු මේ තත්වය යටතෙ JVP එක මොනවද කරන්නෙ කියල. වෙනද වගෙ ඔවුන් ට කාටවත් ඇඟිල්ල දික් කර කර ඉන්න බැහැ. COPE බලය තියෙන්නෙ JVP නායකත්වය යටතෙ.
තවම මේ සම්බන්ධයෙන් පුරෝකථන හෝ අනාවැකි පළකරන්න අමාරුයි, ඒත් මේ ප්‍රශ්නය එක පැත්තකින් ලංකාවෙ දේශපාලනය ට තීරණාත්මකයි!
CHAPA
October 27, 2016