නීතීඥ සරත් පෙරේරා!

මට ඔහු මුණ ගැහෙන්නෙ, මං ‘රාවය’ ත් එක්ක වැඩ කරන 2000 අවුරුද්දෙ දවසක. ඒ දිනවල රටේ යම් ආන්දෝලනාත්මක ප්රවෘතියක් බවට පත් වුණු දොම්පෙ ප්රදේශයේ දැරියක් සිය දිවි නසා ගැනීමේ – මේ දැනුත් හද කකියවන අතිශය දුක් මුසු සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු කෙරෙන අතර තුර.
ඇය ජීවිතය අත් හරින්න තීරණය කරන්නෙ, ඇයව දූෂණය කරමින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි ‘අපරාධ පාදඩයෙකුගෙන්’ සහ ඒ අපරාධ පාදඩයා සමග එක්ව, ඇයට එරෙහිව ක්රියාත්මක වෙමින් පැවති ‘පාදඩ නීති නිලධාරීන්ගෙන්’ සදහටම නිදහස් වෙන්න. බේරෙන්න. ඒත් අපි ඒ ගැන දැනගන්නකොටමත් ඇය ඇයගේ නිදහස හොයාගෙන!
අපි ඇය වෙනුවෙන් කරන්න පුලුවං උපරිම දේවල් කෙරුවා, අපරාධ පාදඩයා හඹාගෙනම ගියා, පොලිසිය, ළමා හා කාන්තා කාර්යාංශය, අධිකරණය හිටියෙ ඇයට එරෙහිව අපරාධ පාදඩයා පැත්තෙ, ඒත් අපි අත් හැරියෙ නෑ! එක දිගටම සටන් කෙරුවා, අන්තිමට නීතිය තුළ යම් ඉදිරි පියවර නං ගැනුණා, ඒත් එයින් ඇයට ලැබුණු කිසි දෙයක් නැහැ, ඇය කාටත් නොකියා යන්න ගිහින්නෙ!
කොහොම හරි ඔය සිදුවීම් අතර ඇය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී හිටපු මේ අපේ කතා නායක නීතිඤවරයා, සරත් පෙරේරා හොයාගෙන කැළණියෙ ඔහුගෙ ගෙදරටම මං ගියා. එතැන් සිට අපි ඉහළ දේශපාලන සංවාදයක කොටස් කරුවන් බවට පත් වුණා. 2002 අප්රේල් 1 වැනිදා, කොටුව දුම්රිය පොළ ඉදිරි පිට, free නමින් ආරම්භ කරන ‘නිදහස්’ සංවාද වැඩ බිමෙත් ඔහු අනිවාර්ය කොටසක් බවට පත් වුණා.
රටේ සියළු භූ ගත සහ මතු පිට ජල සම්පත් කොල්ල කන්න සෑලසුම් කරමින් ක්රියාත්මක වන ජෛව විරෝධී වෙළෙඳ කුමන්ත්රණයට එරෙහිව සමාජ ගත කළ ”ජල රකුසන්ට එරෙහිව…” පොතට, ඒ කුමන්ත්රණයට සම්බන්ධ NGO පාර්ශ්ව 5ක් කෝටි 5 ගණනෙ අපහාස වන්දි ඉල්ලන නඩුව වැටෙන්නෙ ඔය අතරෙ 2010 දවසක.
”හරි! අපි නඩුවට පෙනී හිටිමු!” සරත් පෙරේරා, අපේ මේ නීතීඥ ගමන් සගයා කොන්දේසි විරහිතව, මානව වර්ගයාගෙ ජල අයිතිය හෙවත් ජීවත් වීමේ නිදහස වෙනුවෙන්, අපිත් එක්ක හිට ගත්තා. අතින් වියදම් කරගෙන ඔහු පුරා අවුරුද්දකට වැඩි කාලයක් කොළඹ දිසා අධිකරණයෙ කරක ගසමින්, අන්තිමට තාක්ෂණික හේතු මත නඩුව බල රහිත කරවන්න කැප වුණා.
එය ඉතාමත්ම විශිෂ්ට මැදිහත්වීමක්!
ඕනම දෙයක් මුදල් කරන්න වියරු සිහින දකින බොල් සමාජ ප්රවණතා මැද සරත් වගෙ මිනිස්සු – විශේෂයෙන්ම වෘත්තිකයන් වඳ වන වේගය වැඩි නිසා ඉතිහාස සාක්ෂියක් විදිහට – අනාගතය වෙනුවෙන් මේ සටහන තියන්න හිතුවා.
අපි මෙහෙමම යමු, තව කරන්න සෑහෙන්න වැඩ ඉතිරිව තියෙනවා!
ආදරණීය මිත්රයා! ඔබට දිගාසිරි!
CHAPA
Jan 10, 2022