Brother Charles ට ලියමි,

2018-02-19
ඔබේ දේශන දෙකක කෙටි Video උපුටා දැක්වීමක් සමග, මම දැනටමත් ඉදිරිපත් කර තිබෙන මූලික යෝජනාව සහ ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව දක්වන විවිධ අදහස් හේතුවෙන් ඔබ කණස්සල්ලට පත් ව සිටින බව, පෙරේදා, මැක්සි ( මැක්සීස් සභාපති, මැක්සි පෙරේරා ) මට දුරකතනයෙන් පැහැදිලි කෙරුවා, මම හිතන්නෙ ඔබ ඔහුට මේ සම්බන්ධයෙන් යම් කරුණු දැක්වීමක් කරන්න ඇති.
ඉතිං මේ සටහන ලියන්න හිතුවෙ, මගේ මේ මැදිහත්වීම තවදුරටත්පැහැදිලි කරන්න!
මේ මැදිහත්වීම, ඔබ සම්බන්ධ ‘පෞද්ගලික සිද්ධියක්’ සම්බන්ධයෙන් නෙවෙයි, ඒ නිසාම කණස්සල්ලට හෝ කෝපයට පත්වෙන්න එපා කියල යෝජනා කරන්න මුලින්ම ඉඩ දෙන්න.
ලෝකය පුරාම, ලෝකය යහපත් කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක විවිධ පුද්ගලයන් සහ විවිධ කණ්ඩායම් එදත් හිටියා – අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. ඒත් සමස්තයක් විදිහට, ලෝකය එන්න එන්නම මහා අර්බුද ගොඩක හිරවෙමින් තියෙනවා. ඒ ඇයි? මේ ප්‍රශ්නයට උත්තර හොයනකොට එන ප්‍රධාන කාරණයක් තමයි ‘දැනුම’. දැනුම කියන්නෙ එතකොට මොකද්ද? What is knowledge? කියන සොක්‍රටීස්ගෙ ප්‍රශ්නයට අපි දැන් එනවා. දැනුම කියන්නෙ නැවත දැනුම් පද්ධති. දැනුම නැති වෙනකොට, දැනුම අඩු වෙනකොට, දැනුම විකෘති වෙනකොට – පටලැවෙනකොට…අර කියන අර්බුද ගොන්නට එදිරිව, ලෝකය යහපත් කරන්න කියලා හොයාගන්න උත්තර සියල්ලමත් වරදිනවා. මේ වෙනකොට වෙමින් තියෙන්නෙ අන්න ඒක තමයි!
අපේ මාතෘකාව ”ආගම් සහ සමාජ යහපත” කියලා ගත්තොත් මේ ‘දැනුම’ කියන සාධකය මෙතැනට අනිවාර්යයෙන්ම අදාළ වෙනවා. මම මේ විශ්ලේෂණය කරන්නෙ සියළු ආගම්වලින් ඉවත්වෙලා, නිදහසේ.
බලන්න! ඉස්ලාම් ආගමට සම්බන්ධ ෂරියා නීතිය, එක ජන කොට්ඨාසයකට කරලා තියෙන හානිය සහ එය සමස්ත මානව වර්ගයාට එල්ල කරන අභියෝගය. ඒ ආගම් ඉගැන්වීම් දේව නියමයන් විදිහට පිළිගන්න මිනිස්සු අහිංසකයි – ඇත්තටම ඔවුන් පව්! ඒ විනාශකාරී මානව ක්‍රියාවලිය වටහා ගන්න අවශ්‍ය ‘දැනුම’ ඔවුන් සතුව නැහැ. රෝමානු – කතෝලික සමාජය තුළ එහෙම භයානක තත්වයක් නැහැ. ඒත්, ඒ ආගම පැරණි සහ නූතන ආකෘති දෙකකින් ගෝලය පුරාම දේශපාලන මෙහෙයුමකට සම්බන්ධ වෙනවා, ප්‍රබල මෙහෙයුම් උපකරණයක් විදිහට.
පැරණි භාරතයේ හටගන්න ‘බුදු අහම’ ඒවාට සාපේක්ෂව වෙනම දැනුම් පද්ධතියක්. උදාහරණයක් විදිහට ලෝකයේ සියළු ආගම් තුළ තියෙන්නෙ ඇදහීමකට පදනම් වන කොන්දේසි මාලාවක් සහ සිරිත් විරිත් පද්ධතියක්.
බුදු දහම, දහමක් මිස ආගමක් නෙවෙයි – දර්ශනයකුත් නෙවෙයි. එය විශ්වය පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණයක්. ක්‍රි.පූ. 6 වැනි සියවස තරමට ඈත තැනක හටගන්නා මේ දහම, පසු කාලීනව ආගමකට, දේශපාලන මෙවලමකට සහ තව තව හැඩ වලට මාරු වෙනකොට තමයි, අර මූලික සොයාගැනීම විකෘති වෙන්න පටන් ගන්නෙ. අද වෙනකොට අපිට සාමාන්‍යයෙන් දකින්න හම්බ වෙන්නෙ අන්න ඒ විකෘතිය. විශේෂයෙන්ම බුද්ධාගම වෙනුවෙන් කැපවූ බව පෙන්වන ජනප්‍රිය බෞද්ධ ධර්ම කථිකයන් මේ තත්වය තවත් අවුල් කරනවා. ජනමාධ්‍යයත් මේ අයහපත් තත්වයට ඍජුවම වග කියන්න ඕනෙ. හැබැයි, වැදගත්ම දේ තමයි, කොච්චර අවුල් කරන්න හැදුවත්, බුදු දහම තුළ තිබෙන ‘විද්‍යාව’ අවුල් වෙන්නෙ නැහැ, හේතුව එය විද්‍යාවක්වීම. කෙනෙකුට මේ සම්බන්ධයෙන් වැඩි දුර හදාරන්න ඕන නං ‘අභිධර්මය’ කියවන්න පටන් ගන්න පුළුවන්. මොන විදිහේ දැනුමක් ඒ හරහා ගත්තත්, හැබැයි අන්තිමට එය තමන්ම භාවිත අරුතෙන් සාක්ෂාත් කරගන්න ඕන දැනුම් පද්ධතියක්.
මෙන්න මේ දැනුම් පද්ධතිය, වෙන කිසිම ආගමකට සම්බන්ධ නැහැ. ඉතිං ඔබ අතින් දැන හෝ නොදැන සිදුවන වැරැද්ද තමයි, බුදු දහම වටා ගොඩ නැගුණු සාහිත්‍යයට අදාළ සහ පසුව නිර්මාණය වන ‘බුද්ධාගම’ ට සම්බන්ධ යම් යම් කොටස් වගේම අර කියන මහා දැනුම් පද්ධතිය තුළ පවතින සංකීර්ණ දැනුමේ සුළු කොටස් එකට ගෙන, ඔබ ගමන් කරන ක්‍රිස්තියානි ගමන් මාර්ගයට ගලපන එක. එයින් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව විශාල සමාජ හානියක් වෙනවා.
අපි මෙහෙම බලමු!
ජේසු පෙන්වූ මග දිගේ යන කෙනෙක්, තමා ඇතුළු ලෝකය මැවූ දෙවියන් තුළ – ඇදහිල්ලෙන් පවතිමින්, තම ජීවන විමුක්තිය අත්පත් කරගන්න ඕනෙ. ඒ කියන්නෙ එවැනි හොඳ කිතුනුවන්, මරණයෙන් මතු ඒ දෙවියන් හෙවත් ගැලවුම්කරුවා කරා ගමන් කරනවා. මැවුම්වාදය පිළිගන්න කෙනෙකුට ඉතා පැහැදිලි මග පෙන්වීමක් ඒ ආගම තුළම තියෙනවා.
බුදු දහම තුළ, ගැලවුම් කරුවෙක් නැහැ. ඉපදීම – ජීවත්වීම – මරණය දුකක් නිසා, යළි ඉපදීමක් හෙවත් ප්‍රතිසංධියක් තියෙන නිසා, කර්මය ඇතුළු නියාම ධර්ම 5 ක් තියෙන නිසා, තම තමන් විසින් හිත දියුණුකරමින් දීර්ඝ ක්‍රියාවලියක් තුළ ජීවිතය ලෙහා දැමීම තමයි බුදු දහම පෙන්වන මාර්ගය. ‘නිවන’ කියන්නෙ ජීවිතය, ජීවිතයෙන් නවතින තැන!
ඔබට දැන් පේනවා නේද මේ මර්ග දෙක පරස්පරයි. එතකොට මේ ගමන් මාර්ග දෙක එකිනෙක ගලපන්න යන එක තේරුමක් නැහැ සහ එයින් ඒ මාර්ග දෙකම විකෘති වෙනවා. මම උනන්දුවෙන්නෙ නං බුදු දහම තුළ තියෙන මහා දැනුම් පද්ධතිය ගැන. එය විකෘති කිරීම මානව අපරාධයක් ලෙසයි මම දකින්නෙ. ඔබට පේනවාද!
ඔබ කියන දේවල් ඇත්ත තමයි, ඔබ ‘හරි’ කියලා හිතන අය සහ ඔබ කියන දේවල් ඇත්ත නෙවෙයි, ඔබ ‘වැරදියි’ කියලා හිතන හුඟාක් අය මේ මාර්ග දෙක අතර හිරවෙලා . බුදු දහම ගැන මූලික දැනුම නැති කෙනෙක් නං අනිවාර්යයෙන්ම අතරමං වෙනවා. ඔබට අවශ්‍ය එහෙම සමාජ යහපතක් නෙවෙයි කියලා මම හිතනවා.
කොහොම නමුත් ඔබ සමග මගේ පුද්ගලික ප්‍රශ්නයක් මෙතැන නැහැ, මේ දාර්ශනික මට්ටමේ සංවාදයක්, අපි දිගටම විවෘතව සාකච්ඡා කරමු!
ඔබට ජය!


CHAPA
Dec 22, 2016