”…ඔබ තුමාගෙ වැඩ සටහන් හැම එකක්ම වගෙ බලන කෙනෙක් මං…!”
තමන්ව හඳුන්වා දෙන අමුත්තා දුර කථන ඇමතුම එහා කොණේ.
”ඒ ගැන සතුටුයි, අපි මේ සංවාදය තුළ දිගටම ඉම්මු…!”
මගේ උණුසුම් ප්‍රතිචාරය.
“මං අර ත්‍රිපිටක ඇමති වැඩ සටහන බලපු ගමන් මේ කෝල් එක ගත්තෙ…ඒක හරි Interesting…ම්ම්ම්…! එකම දේ ත්‍රිපිටකය ග්රන්ථාරූඩ කරපු තැන ගැන ඔබ තුමා කියපු කතාව වැරදියි, ඔය මාතලේ කියල වරදවා තේරුම් අරගෙන තියෙන්නෙ මාතුල කියන යෙදුම…”
“ඔය ගැන මත දෙකක් තියෙනවා, ඒ ගැනම හිතන්න එපා, මුලික ප්රශ්නය ජාතිය බිඳලා, රාජ්‍ය බිඳලා මේ පොළොව කොල්ල කන්න චීන, ඉන්දියානු, ඇමරිකානු මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා…ඒ ගැන තමයි අපි මේ වෙලාවෙ විශේෂ අවධානය යොමු කරන්න ඕන, ඔය ඔබ කියන වර්ගයෙ ප්‍රශ්න හෙමින් බේර ගන්න අපට කල් තියෙනවා…”
මං කල් තියාම ඔහුට හරස් කැපුවෙ, සංවාදයෙ පදනම පැහැදිලි කරන්න.
” මේකයි…ඔය ත්‍රිපිටකයෙ මුල් පිටපත් තියෙන්නෙ එංගලන්තයෙ කෞතුකාගාරයක, මං ඒවා දෑහින් දැක්කා…ඒවා අපට ආපහු ගෙන්න ගන්න ඕන කියල විමල් වීරවංශ මැතිතුමාත් පාර්ලිමේන්තුවේදි කියනවා මං අහගෙන, ඊටත් කලින්… ඔය එක්දහස් නවසිය පණස් ගනන්වලදි…!”
”ඔය සංවාදය නෙවෙයි මේ මොහොතෙ අපට අදාළ…භූ දේශපාලනික ආක්‍රමණයකට රට මුහුණ දෙමින් තියෙන එක…ජාතියක් හැටියට…”
මං ඔහුට බාධා කරමින් කියන්න ගත්තත්, ඔහු මට බාධා කරන්න ගත්තා.
”අපි මේ ත්‍රිපිටකය කියල ඔළුව උඩ තියාගෙන ඉන්නෙ ඇත්ත එක නෙවෙයි, ඒ වගේම ඔය අපි ඉගෙන ගෙන තියෙන හුඟාක් ධර්ම කරුණුත් වැරදියි, උදාහරණයක් විදිහට අනිත්‍ය කියන්නෙ ඔය අපි හිතාගෙන ඉන්න සංකල්පය නෙවෙයි…”
”ඔය සියළු දේවල් අපට හෙමින් කතා බහ කරන්න පුලුවං…මේ 19 , 20 දවස් දෙකේ Covid මැද්දෙ Port City Bill එක පාර්ලිමේන්තුවට දාලා සම්මත කර ගන්න මේගොල්ලො හදන්නෙ…ඔය ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම් පතත් ඔය අස්සෙ තොරොම්බල් කරලා අන්න ඒ ගේම දෙන්න යන්නෙ…ඔය කතාව දිගේ ඔය විදිහට යන්න පටන් ගත්තොත් රටම අපට නැති වෙනවා…මේවා සැලසුම් කරන මහ මොළ කාරයන්ට ඕනත් ඒක…ලෝකය දැකපු Professional කෙනෙක් විදිහට ඔබට මේ සරල යථාර්ථය තේරුම් ගන්න බැරිද?”
මං ටිකක් තදින් කතා කරන්න ගත්තා.
”මට තේරෙනවා ඔබ තුමා කියන දේ…ඒ වුණත්…”
ඔහු කිසි කලබලයක් නැහැ, හොඳ ඉවසිලිවන්තයෙක්.
”…බුදු හාමුදුරුවො ඉපදුණේ ඉන්දියාවෙ කියල කියන තැන ඉඳලම අපි වැරදියි, ඔය ගැන අපේ මීවනපලානෙ හාමුදුරුවො…”
ඔහු දිග කතාවකට සූදානම් වෙනවා.
”ඔය මීවනපලානෙ හාමුදුරුවො තමයි රට අවුල් කරන්නෙ…”
”එහෙම කියන්න එපා…දැන් බලන්න අර කිරම විමලජෝති හාමුදුරුවො…එංගලන්තයෙ තියෙන ත්‍රිපිටකයෙ නියම පරිවර්තනය මුද්‍රණය කරලා මහා පුණ්‍ය කටයුත්තක් කරනවා…”
මං තීරණයක් ගත්තා.
”කිරම විමලජෝති හාමුදුරුවො ගේම් කාරයෙක්…ඒ ගැන මං හොඳ අධ්‍යනයක ඉන්නෙ, කියන දේ තේරුම් ගන්න, ඔය ඔක්කොම එකතු වෙලා, මහජන අවධානය වෙන අතකට හරවනවා, ඒ වගේම ඔය එක එක පනත් කතා ගේන්න ඕන කියන පසු බිම හදන්නෙත් ඒ අයම තමයි. ඔය සෙල්ලම පිටි පස්සෙ ඉන්න මහ මොළකාරයො අපේ බහුතර අහිංසක ස්වාමින්වහන්සේලා පිස්සු වට්ටලා ජාතිය දුර්වල කරවලා, ජාතිය බිඳලා, රාජ්‍යයත් ඉවර කරලා මේ මහ පොළොව කොල්ල කන්න සලස්වනවා…!”
මං වේගයෙන් කියාගෙන ගියා.
”ඒ නිසා තමයි මං මේ කියන්නෙ…”
ඔහු ඉවසිලිවන්ත පහත් හඬින් කියන්න පටන් ගන්නවා.
”ඔබ හිතන්න, ඔබේ පවුලෙම නෑයොත් අල්ලගෙන ඔබේ පවුල විනාශ කරලා…ඔබේ බිරිඳ ළමයි පරට බස්සවලා…ඔය මහ ගෙදරයි ඉඩමයි කොල්ල කන්න මැර කණ්ඩායමක් එනවා! ඔබ මොකද්ද කරන්න ඕන?”
මං වෙන විදිහකට ඔහු ප්‍රශ්න කරන්න පටන් ගත්තා.
”මං එකක් කියන්නං…මගේ පවුල, විශේෂයෙන්ම මගේ බිරිඳ දරුවො මේ ප්‍රශ්නයට ගාවන්න එපා…තේරුණාද?”
ඔහුගෙ අර ඉවසිලිවන්ත හඬ එක පාරටම දරදඬු වුණා.
”පුද්ගලිකව ගන්න එපා…ඔබේ නෑයොත් එකතු කරගෙන…ඔබේ දේපොළ…”
”කවුරු හරි ඔබ තුමාව නොමග යවලා, මට දැන් තේරෙනවා… අපේ දේපොළ ප්රශ්නය අපි බේර ගන්නං…අනික මං අසාධරණ විදිහට අපේ පරම්පරාවෙ දේපොළ අල්ලගෙන නැහැ, අපේ පවුලෙ තුන් දෙනයි, අක්කයි අයියයි…මම තමයි බාලයා…තාත්තගෙ ව්‍යාපාර සේරම බලා ගන්නෙ මං, එතකොට දේපොළ වැඩි හරියක් මට තමයි අයිති…ඒ වගේම අපේ අක්කාට වෙනම ව්‍යාපාර තියෙනවා…සමහර විට ඔබ තුමාට ඔය අනං මනං කියන්න ඇත්තෙ අපේ අයියා…”
ඔහුගෙ කතාවෙන් මං අන්ද මන්ද වුණා.
”නෑ, නෑ! මං මේ උදාරහරණයක් අරගෙන ඔබට යමක් පැහැදිලි කරන්න හදන්නෙ..”
මං දැන් ඉවසීමෙන් උත්තර දෙනවා. හඬත් ඉබේම බාල වුණා.
”ඔබතුමා හිතන්න එපා මං මෝඩයෙක් කියලා, මං මේ මනුස්සකමට කතා කෙරුවෙ…මං හිතුවා හොඳ වැදගත් පුද්ගලයෙක් කියලා…බලාගෙන යනකොට…”
මං එකපාරටම call එක cut කෙරුවා, ඔහුත් ආයෙ ගත්තෙ නැහැ, මදැයි!
CHAPA
May 14, 2021