ඇනීටා, ලංකා ඊ නිව්ස් සහ චාපා (මම)…


මේ සටහන ලියනවද නැද්ද කියල සිය දහස් වාරයක් මං කල්පනා කෙරුවා, තවම හරි තීරණයක් නැහැ. ඒත් ඔහේ ලියාගෙන යනවා.

ලංකා ඊ නිව්ස් හරහා කැත විදිහට සමාජ ගත කරන්න වෑයම් කෙරෙන මට එරෙහි මඩ ව්‍යාපෘතිය ගැන මගෙ පුද්ගලික උනන්දුවක් නැහැ. ඒත් එහි පොදු ස්වභාවය නිසා නොසලකා හරින්නත් බැහැ.

ඒ වගේම ඇය – මගේ යෙහෙළිය! ඇනීටා චරිතානි!! මං පෙනී ඉන්න කෙටි විඩියෝ දර්ශන කීපයක් දැනටමත් සමාජ ගත කරල තියෙන හින්ඳා, කතාව මෙහෙම පටන් ගන්නං!

මේ කතාවෙ ඔය කතා නායිකාව හෙවත් ඇනීටා මට මුණ ගැහෙන්නෙ සමාජ මාධ්‍ය හරහා, 2018 දි, ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ. ඇය ජීවත් වෙන්නෙ ස්වීට්සර්ලන්තයෙ. එරට ශ්‍ර්‍රී ලාංකික කණ්ඩායමක් සහ තවත් රටවල එවැනි කණ්ඩායම් එකට මෙහෙයවන ගෝලීය සංසදය ට යම් යම් ක්‍රියාකාර කම් හරහා ඇයත් සම්බන්ධ වෙමින් සිටි නිසා, මුල් වටයෙදි අපි අතර හොඳ සංවාදයක් ගොඩ නැගුණා. ඒ අතර අපි ඉතා සමීප යාළුවන් බවට පත් වුණා. ඇය සහ මම තුන් හතර වතාවක් ලංකාවෙදි මුණ ගැහිලා තියෙනවා. ඇයගෙ ස්වීස් ජාතික සැමියා සමඟත් මගෙ යම් හිතවත්කමක් ඇති වුණා.

ඇයගෙ ස්වීට්සර්ලන්ත ජීවිතය සුව පහසු වුණත් හිතට දැනෙන හුදකලා හැඟීම් හේතුවෙන් දැඩි මානසික පීඩාවකින් පෙළෙන බව ඇය මට නිතර කිව්වා, ඒ සඳහා ඇය මනෝවෛද්‍ය ප්‍රථිකාර ගනිමින් හිටියා. ඇයට බොහෝ ආදරය කළ ඇයගෙ සැමියාගෙ පියා මිය යෑම නිසා තමයි ඇය මේ විදිහට මානසිකව කඩා වැටෙන්න පටන් ගත්තෙ කියලත් ඇය කිව්වා. ඊට පස්සෙ, දෙතුන් වතාවක්, සිය දිවි හානි කර ගැනීමට තමන් උත්සහ කළ බවත් ඇය මට කියා තියෙනවා. ලංකාවෙදි ඇයට ප්‍රථිකාර ලබා දෙන ඇයගෙ හිතවත් වෛද්‍යවරිය මුණ ගැහෙන්නත් වතාවක් ඇය සමඟ මමත් ගිහිං තියෙනවා.

ඇය ඉතා යහපත් සහ මානුෂික ගති පැවතුම් තියෙන සංවේදී කාන්තාවක්. ඉතා ධෛර්‍යවන්ත වගේම දක්ෂ පුද්ගලයෙක්. ඒ නිසා මං ඇය ගැන වැඩි උනන්දුවකින් හිටියෙ. ඇය ගෝලීය සංසදය සමඟ වැඩ කරමින් හිටපු නිසා කොහොමත් ඇයට මගෙ විශේෂ ගෞරවයක් ඇති වෙලයි තිබුණෙ. මුල් දවස්වල, අපි දෙදෙනාටම අදාළ ඒ ඒ දේශපාලන ක්‍රියාකාරකම් ගැනත් අපි අතර යම් හොඳ සංවාදයක් ගොඩ නැගෙමින් තිබුණා කියලයි මං දැනුත් හිතන්නෙ.

ඒත් ඇය තුළ ඉතාම සංවේදී සහ ඒ නිසාම පුද්ගලික හැඟීම් අතර හිර වෙන ගතියක් තිබුණා. විශේෂයෙන්ම මට කතා කරන වෙන කාන්තාවන් ගැන ඇය අනවශ්‍ය උනන්දුවක් පෙන්නුවා. ඒ සම්බන්ධතාවලට මැදිහත් වෙන්න හැදුවා. ඔවුන් ගැන කියමින් සහ අසමින් රණ්ඩු කරන්න ගත්තා. ඉතිං ඇය කළමණාකරණය කරගන්න මට විශාල මහන්සියක් ගන්න වුණා. පැය ගණනින් කාලය වෙන්කර ඇය සමඟ විඩියො ඇමතුම් වල ඉන්න මට සිද්ධ වුණා. ඇය මානසිකව අසහනයට පත් වෙලා ඉන්නකොට ඇය වෙනුවෙන්, පුංචි ළමයෙකුට කතාකරන විදිහට කතා කරමින් ආදරෙයි! කියන්න මට සිද්ධ වුණා. සියළු වැඩ අමතක කර, සමහර විට දෙගොඩ යාමෙ මහපාරක් අයිනෙ සිට ඒවා රෙකෝඩ් කරන්න ඇය මට කිව්වා, ඒ කාලය ඉතා පීඩාකාරියි. ඒත් ඇය සැහැල්ලුවෙන් තියන්න මට ඕන වුණා. එහෙම, ඇයගෙ ඉල්ලීම්වලට යවපු කෙටි විඩියෝ සටහන් තමයි ඔය ඇය සමාජයට මුදා හැරල තියෙන්නෙ!

ඒ කියන්නෙ ඇය ඒ කෙරුවෙ බොරුවක් ද? ඇය මෙහෙම සාක්ෂි එකතු කරන්න සැලසුම් කෙරුවාද? මට හිතා ගන්නවත් බැහැ!

ඇය එක පාරක් යම් පෙති වර්ගයක් පානය කරමින් තමා දිවි නසා ගැනීමට යන බව විඩියෝ ඇමතුමකින් කියන්න පටන් ගත්තා. ඇයගෙ ස්වරූපය දැකපු මට බයක් සහ කම්පනයක් ඇති වුණා. මං ඇයට විවිධ ඇවිටිලි කරමින් එහෙම කරන්න එපා! කියල ඉල්ලමින් පැය ගණන් ගත කෙරුවා. ඇයගෙ මවට, සමහර නෑයින්ට සහ අන්තිමට ඇයගෙ සැමියාට කතා කරලා ඊට මැදිහත් වෙන්න කියල කෑ ගැහුවා. ඔවුන් තත්ත්වයේ බරපතළ කම තේරුම් නොගන්නා බව තේරුම් ගත්තු මං, ස්වීස් තානාපති කාර්‍යයාලය හරහා ඒ ගෙදරට පොලීසිය යවන්න පවා කල්පනා කෙරුවා. අන්තිමට යන්තං ඒ අවස්ථාව සාමාන්‍ය අතට හැරුණා. ඒ දවස් හරිම දුක්බරයි, පීඩාකාරියි!

එකපාරටම, දවසක් ඇය මගෙ මූණු පොතේ ‘පාස් වර්ඩ්’ එක ඉල්ලමින් කරදර කෙරුවා. මං බෑ! කිව්වා. මං සංවේදී වුණත්, සියල්ල දේශපාලනිකව ගන්න කෙනෙක්. පුද්ගල සම්බන්ධතාත් එකිනෙකාට අනන්‍ය විය යුතු බව පිළි ගන්න කෙනෙක්. ඉතිං කොහොම හරි අපි අතර විවිධ පුද්ගල ගැටුම් එහෙමත් නිර්මාණය වෙන්න ගත්තා. මං, මගේ සහ අනෙකාගෙ පුද්ගලිකත්වය දිවිහිමියෙන් ආරක්ෂා කරන සහ ඊට සමගාමීව පොදු ආකෘතියක තවදුරටත් පවතින්න උත්සහ කරන දේශපාලනික ක්‍රියාකාරිකයෙක්. අපේ ගෙදර තත්ත්වයත් එහෙම ගොඩ නැගිලා තියෙනවා.

අන්තිමට කොහොම කොහොම හරි, මේ සංවේදී සහ සංකීර්ණ පුද්ගලික ප්‍රශ්නය ලංකා ඊ නිව්ස්, පොදු ප්‍රශ්නයක් බවට පත් කෙරුවා!

එය කල් තියා හැදුණු සැලැස්මක් ද? එක්කෝ, ඇනීටා ඒ දේශපාලන කුලී කාරයන්ගෙ ගොදුරක් බවට පත් වුණාද? මං තවම හිතනවා!

ඔය මුල් කෙටි කාලය තුළ වරින් වර ඇය මගේ ක්‍රියාකාරකම් සඳහා මුදල් ලබා දුන්නා. එක වෙලාවක මගෙ මෝටර් රථය ටිකක් කරදර කරන්න ගත්ත නිසා එය විකුණා වෙන එකක් මිලදී ගන්න මම හිතන කොට, වැඩි වටිනාකමකින් යුත් නවීන මෝටර් රථයක් මිලදි ගමු! කියල ඇය යෝජනා කෙරුවා. මං ඒකට කැමති වුණේ නැහැ. මං අනුන්ගෙන් දේවල් ගන්න බයයි සහ එතකොට එක විදිහක පරාජිත හැඟීමක් හිතට එනවා.

අන්තිමට මගෙ ‘වියොස්’ වාහනය ලක්ෂ 23. 5 කට විකුණලා, ඉතිරිය ඇය දාලා, ලක්ෂ 33.5 කට ‘යාරිස්’ වර්ගයෙ කාරයක් මිලදී ගන්න මං කැමති වුණා. මේ සියල්ල කෙරුනෙ, මාලබේ ගරාජයක් පවත්වාගෙන යන ‘බර්නි’ කියන හිතවත් කාර්මික ශිල්පියා දැනුවත්ව. මේ ගනු දෙනු සියල්ල ඔහු දැක්කා.

‘දවසක මේක ලෙඩක් වෙයිද බර්නි?’ කියලත් මං ඔහුගෙන් ඇහුවා කියල ඔහු මට ඊයෙ දුරකථනයෙන් කතා කරල දුකෙන් මතක් කෙරුවා.

ඊට අමතරව, මගෙ ක්‍රියාකාරකම් වලට අවශ්‍ය කුඩා උපකරණ කීපයකුත් ඇය අරගෙන දුන්නා. චොක්ලට් වගෙ කන දේවල්, ඇඳුම් කීපයක් සහ සුවඳ විළවුන් වගෙ දේවලුත් ඇය ගෙනත් දීලා තියෙනවා. වාහනයෙ කතාව හැර, ඇය වරින් වර මගෙ වැඩ වලට දීපු මුදල සම්පූර්ණයෙන් ම ලක්ෂ 5 ක් විතර ඇති කියලයි මං හිතන්නෙ.

මේ කිසිවක් රහසිගත ගනු දෙනු නෙවෙයි, ඒත් පුද්ගලික සිද්ධි. මෙහෙම පොදු අවධානයට ඉදිරිපත් කරන්නෙ ඇය ගත් ඉදිරි පියවර නිසා.

ඉතිං අපිට තව දුරටත් එකට වැඩ කරන්න බැරි මට්ටමකට ආවට පස්සෙ ඇය මගෙ බිරිඳ සමඟ සම්බන්ධතා ගොඩ නගා ගත්තා, ගෙදරටම ඇවිත් ඔය ලංකා ඊ නිව්ස් එකට ගිහිං කෙරුවා වගෙ, සාක්ෂි ඉදිරිපත් කරමින් අපේ කතාව බිරිඳට කිව්වා. මට බොහෝ කාන්තා සම්බන්ධතා තියෙන බව ඇයට පෙන්වා දුන්නා. ඔවුන්ගෙන් මං මුදල් ගන්නා බවත් පැහැදිලි කෙරුවා. අපෙ ගෙදරත්, වෙන ඕනම ගෙදරක වගෙම ප්‍රශ්න ඇති වෙනවා තමයි. ඒත් පොදු ගැඹුරු අවබෝධයක් එකිනෙකා ගැන තියෙනවා, බිරිඳගේ ගුරු භූමිකාව මං ඉතා ඉහළින් අගය කරන අතර මගෙ දේශපාලනික ලෝකය ඇය ඉතා පැහැදිලිව වටහා ගෙන ඉන්නවා.

ඒ නිසා විශේෂ යමක් ගෙදර සිද්ධ වුණේ නැහැ. ඒත් විවිධ දේ කතා කරමින් බිරිඳගේ සංවේදී අදහස් සහ සියුම් හැඟීම් ඇනීටා, මගෙ යෙහෙළිය! රෙකෝඩ් කරගෙන ඉන්න බවත්, අපේ ගෙදරට ඇය පැමිණි බව ඔප්පු කිරීමට ගෙදර සිට ඡායාරූප ගත් බවත් මං දන්නවා.

අපේ ගෙදරදි ඇති වෙච්ච කතා බහ අතරෙ සහ වෙනම, ඇය මට දුන් මුළු මුදල ආපහු ඇයට දෙන්න මං කැමතියි කිව්වා. කොටස් කීපයකින් කොහොම හරි ඒක ගෙවන්න මං හිතුවා. එක්කො වාහනය විකුණලා, මිල අඩු එකකට ගිහිං ඒ අතිරේක මුදල ඇයට දෙන්නං කිව්වා. ඇය ඒ වෙනුවට මගෙන් මිලියන 3 ක් ඉල්ලන්න ගත්තා. මං කිව්වා, මට එච්චර මුදලක් ඔබ දුන්නෙ නැහැ, මං ගත්තු මුදල දෙන්නං කියලා. ඒත් ඒ ගැන කිසිම එකඟතාවක් ඇති වුණේ නැහැ.

ඒ අතර ඇය මගෙ යෙහෙළියන්ට සහ මූණු පොතේ වෙනත් කාන්තාවන්ට විවිධ අවලාද පණිවිඩ යවමින් හිතේ ආවේග නිදහස් කර ගැනීම ආරම්භ කර තිබුණා. ඇය පිළිබඳ අනුකම්පාවෙන් සහ ගෞරවයෙන් ඒ සියල්ල මං දරා ගත්තා. ඇය මේ දේවල් කරන්නෙ සාමාන්‍ය මනසකින් නෙවෙයි කියල මං දිගටම හිතුවා.

ඒත් බරපතළ ප්‍රශ්නය ආවෙ, තමන් වංචා කර මං මුදල් ගත්තා සහ තවත් කාන්තාවන් රවටා මං මුදල් අරගෙන තියෙනවා! කියමින් ඇය ප්‍රසිද්ධ අසත්‍ය ප්‍රකාශ කරන්න පටන් ගැනීමත් එක්කයි. මං ඒ ගැන ඇයට දිගින් දිගටම කරුණු පැහැදිලි කරමින් එසේ නොකරන ලෙස ඉල්ලා සිටියා. ඒත් ඇය දිගටම එසේ කරන බව මට තරයේම කිව්වා.

මෙතැනදීම වැදගත් දෙයක් සටහන් කරන්න මට ඉඩ දෙන්න!

මං එදා මෙදා තුර, මේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වියදම් හොයා ගත්තෙ යම් ආයතනයකට වැඩ කරලා. මං ඉපයූ සියල්ල ආපිට සමාජයටම මුදා හැරියා. දිගටමත් එහෙමයි. ඒ ආයතන සම්බන්ධතා නිසා ගොඩ නැගුණූ පුද්ගල සම්බන්ධතා කීපයක් හරහාත් යම් හිරවීමකදි මුදලක් හොයා ගන්න මට අවස්ථාව තියෙනවා. ඒ අපි එක්නෙකා අතර තියෙන පූළුල් දේශපාලනික අවබෝධය මත. ඕස්ට්‍රේලියාවෙ ඉන්න චන්දානන්ද හාමුදුරුවො තමයි දැන් මං භාවිත කරන ඉලෙක්ට්‍රෝනික් උපකරණ සියල්ල එව්වෙ. ඕන වෙලාව ඕන දෙයක් කියන්න කියල උන්වහන්සෙ මට නිතර කියනවා. ඊ ළඟට ඔය බර්නි වගෙ මගෙ ගමන හොඳින් තේරුම් ගත්ත විවිධ මට්ටම් වල මිනිස් බල ඇණියක් නිතර මං වටේ ඉන්නවා.

මං කවදාවත් ඇනීටාගෙන් හැර කිසිම කාන්තාවකගෙන් එක සතයක් අරගෙන නැහැ!

මං ආදරය කරන සහ පෙරළා මට ආදරය කරන විවිධ ගැහැනු මිනිස්සු කොහොමත් මාත් එක්ක හැමදාම හිටියා සහ ඉන්නවා, ඒ එකිනෙකා එක්ක එකිනෙකාට අනන්‍ය සම්බන්ධතා හැම දාම මට තියෙනවා.

ඇනීටා කියන්නෙ අහිංසක සහ හිත හොඳ කාන්තාවක් කියල මං තවම හිතනවා. ඒත් ඇය ලංකා ඊ නිව්ස් ගිය නිසා මං දැන් ආපිට හිතනවා.

ඇය කවුද? ඇයි ඇය මට මෙහෙම කරන්නෙ?

මට මේ අස්සෙ විදුලියක් කොටනවා වගෙ මතකයක් එනවා හිතට. ඇනීටා, බිරිඳට කියල තිබුණා මගෙ සියළු සංනිවේදන මාර්ග ඇය ‘ටැප්’ කරනවා කියලා. මං දන්න කීප දෙනෙකුගෙන් ඒ ගැන ඇහුවත් හොඳ කරුණු පැහැදිලි කිරීමක් ලැබුණ නැහැ. එතකොට මට මතක් වුණා, දවසක් ඇය මගෙ ජංගම දුර කථනය පොළොවෙ ගැහුවා. ඊට පස්සෙ ඒ ගැන කණගාටු වෙලා සමාවත් ඉල්ලලා, ඇයගෙ යාළුවෙකුට දීලා හදාගෙන එන්න කිව්වා. මට හිතෙනවා ඇය එහෙම කෙරුවෙ මගෙ ජංගම දුර කථනයෙ දත්ත ලබා ගන්න කියලා. ඒ අවස්ථාව හදාගෙන මගෙ දුර කථනය ඇයගෙ දුරකථනයට ‘සින්ක්‍රොනයිස්’ කර ගන්න ඇති කියලා, ඊයෙ පෙරේදා කෙනෙක් කිව්වා.

මට කියන්න තියෙන්නෙ ඔච්චරයි!

ඇය මට කැමැත්තෙන් දීපු මුදල කොටස් කීපයකින් හෝ එකවර ආපසු ගෙවන්න මං සූදානම්, දැන් ඒක කෙරෙන්න ඕන විධිමත් පිළිවෙළකට. මං අනුන්ගෙ දේ කඩා වඩා ගන්න හෝ භෞතික ලෝකය ජීවිතය කර ගත්තු කෙනෙක් නෙවෙයි. ඒ ඉතිං ඉක්මනින් විසඳන්න පුළුවං සරල ප්‍රශ්නයක්.

අපි බලමු!

මේ සටහන නං මං තිව්වෙ හිතේ සතුටකින් නෙවෙයි, අකමැත්තෙන්. ඒ, මගේ දේශපාලන ක්‍රියාකාරකම් වලට සහ අවසානයේදි රටට ලංකා ඊ නිව්ස් වගෙ කුලී කළු බළල්ලු තව දුරටත් ඇයව ගොදුරක් බවට පත් කර ගන්න ඉඩ තියෙන නිසා; පෙර සූදානමක් විදිහට!

කොහොම වුණත් මං ඇනීටා චරිතානි ට ගෞරව කරනවා, ඇය එක්ක මගෙ තරහක් නැහැ, ඒත්, මෙහෙම නොවුණා නං! කියල හිතෙනවා!
CHAPA 
June 24, 2019




One thought on “ඇනීටා, ලංකා ඊ නිව්ස් සහ චාපා (මම)…

  1. Bonyfus Martin

    Dear Chapa,

    I m really sorry to hear what happend. I cannot believe that you didn’t see this coming from that woman. You have a really good knowledge about the world and srilankan politics, but still got caught in to that trap. Specially, doing that video to make her happy, it is really stupid. It so unlikely that women killing themselves. You shokld have ignored what ever she was saying to you to do that video.

    Why do you still think she is good person after all that happend? You can never trust a woman. Specially, the modern women in the #metoo era. They are waiting to tarnish public figures. Women are unhappy and miserable now than ever. They try to self fulfill by doing things like the act that lady did to you. I would have been more careful if I were you.

    See how many women accused lord buddha. I think there is a strong reason why lord buddha delayed meheni sasana and why he said a woman cannot be buddha. Only he knows why.

    This makes me think no matter how good a person is doing things good at doing, that person could really suck at certain things and they could miss a whole point.

    There is big issue with femenism these days and Sri Lanka has been sinking in it recently.

    Current world is so gynocentric people only believe women. I am pretty sure lot will believe that woman Anita than more than you.

    I highly recommend you to read this book series. https://therationalmale.com/the-book/. It will literally save men. If I can I will do a sinhala traslation and distribute in Sri Lanka.

    All the best Chapa.

    Thanks and regards,

    Bonyfus

Comments are closed.