නොමඟ නොයවන්!

නොමඟ නොයවන්! කිව්වම නිකං භාෂාමය වැරැද්දකුත් කරනවා වගෙ නේද?භාෂාමය කෙසේ වෙතත් අපි සාමාන්‍යයෙන් ඔය වැරැද්ද නං කරනවා.
වැඩේ තියෙන්නෙ, නොමඟ කියනකොටම, එහෙනං මොකද්ද හරි මඟ කියලා දැනගන්නත් ඕනෙ. හරි වැරැද්ද ඉතිං සාපේක්‍ෂ නිසා මෙන්න මේක තමයි හරි මඟ, මෙන්න මේක තමයි වැරදි මඟ කියලා කෙනෙකුට එක පාරටම පෙන්නන්න අමාරුයි.
ඒත්, මේ ප්‍රයෝගික ලෝකය තුළ, ඒ ඒ සිද්ධීන්වලට අදාළව, අපිට සාමාන්‍ය අදහසක් තියෙනවානෙ. අන්න ඒ සම්මතය තුළ තමයි මේ සාකච්ඡාව ගෙනියන්න වෙන්නෙ. සමහර තැන් නං ඉතිං, කවදාවත් හරි – වැරැද්ද වෙන් කරගන්න බැරි තරමට සංකීර්ණයි.
අපි මේ සුන්දර උදෑසන මෙහෙම සරල තැනකට එමු!
ඔබ දැනුවත් ව, කෙනෙක් නොමඟ යවන්න එපා! ඒ කියන්නෙ, ඔබ දන්නවා, ඔබේ උපදේශය ලබන කෙනා, අවශ්‍ය ඉලක්කයට යන්න නං, කරන්න ඕන දේ. ඒ කියන්නෙ ඔහු හෝ ඇය යා යුතු මඟ.
ඔබ එහෙම දැනගෙන, මොකක් හරි යටි හිතේ තියාගෙන වෙන පාරක් පෙන්නනවා, මෙන්න මෙහෙම කරන්නකො! කියලා.
එක්කෝ ආත්මාර්ථකාමීකම, එක්කෝ කුහක කම, එක්කෝ ඊර්ෂ්‍යාව, එක්කෝ වෙන කාගේ හරි කොන්ත්‍රාත්තුවක්, ‘නොදන්නාකම’ නොදන්නා නිසා…ඔය ඕන විදිහකට කෙනෙක් තව කෙනෙක් නොමඟ යවන පුළුවන්.
එය කෙනෙකුගේ හැසිරීමෙන් තව කෙනෙක් ලබා ගන්න පෙළඹවීමක් වෙන්නත් ඉඩ තියෙනවා. උදාහරණයක් විදිහට අයහපත් හැසිරීමක් තියෙන තාත්තා කෙනෙක් දකින ඔහුගේ දරුවා ඉබේම ඒ පර දිගේ යන්න හුඟාක් දුරට ඉඩ තියෙනවා.
උදේ පාන්දර, ඔළුව නරක කරන දේවල් කියනවා කියලා හිතන්නෙ නැතුව, ටිකක් හිතලා බලන්නකො.
එහෙනං හරිනෙ?
අනෙකාට මඟ පෙන්වන්න. නොමඟ පෙන්වන්න එපා. මඟ දන්නෙ නැත්තං නිකං ඉන්න, එක්කෝ, ඒ බව කියන්න.
ඒ වගේම, අනෙකා නොමඟ යන විදිහට හැසිරෙන්න නං එපා ඔන්න, හොඳේ?
ඔබට මඟ පෙනෙන, අනෙකාටත් මඟ පෙන්වන්න පුළුවන් යහපත් දවසක්!
CHAPA